WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි විය යුතුයි‘‘

2025 June 27- Page Views : 24

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසි කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබඳ කෙරෙන විමර්ශන කඩිනම් කර වරදකරුවන් නොවන පුද්ගලයන් ඉක්මනින් නිදහස් කළ යුතු බව ද ඔහු කීය.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පැහැදිලි ස්ථාවරය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව යැයි මහ කොමසාරිස්වරයා පැවැසුවේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා ගෙන ඇති පියවරයන් මොනවා දැයි රජය එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර තිබෙන බව ටර්ක් මහතා සඳහන් කළේය.

මානව හිමිකම් කඩකළ පුද්ගලයන්ට වගවීම ලබාදීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් එය කළ හැක්කේ පවතින ආයතන ශක්තිමත් කිරීම මගින් බවත් වෝකර් ටර්ක් මහතා පැවැසුවේය.

වඩාත් වැදගත්ම දෙය වන්නේ මානව හිමිකම් කඩවූ බව සියලුම සාක්ෂි ඉදිරිපත් කරමින් තහවුරු කළ විට වින්දිතයාට යුක්තිය ලැබෙන බව තහවුරු කිරීම බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ සඳහා හැමවිටම ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය වන බව ඔහු පැවැසුවේය. දේශීය යාන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය අවශ්‍ය වන බවත් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය. තවමත් මානව හිමිකම් ආරක්ෂා කරන්නන් නිරීක්‍ෂණයට ලක්වන බව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවද ඔහු පැවසුවේය.

එසේම සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වේ යැයි තමන් බලාපොරොත්තු වන බවද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංශෝධනය විය යුතු බවද ඔහු පැවැසුවේය.

පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් 25 ක් පාර්ලිමේන්තුවට තේරීපත්වී ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 9.8 ක් වර්ධනයක් බවත් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය. නමුත් තවත් කාන්තාවන් පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතු බව ඔහු පැවැසුවේය.

ලංකාවේ තවමත් එකම රැකියාව සඳහා කාන්තාවන්ට ලැබෙන වැටුප පිරිමින්ට ලැබෙන වැටුපට වඩා සියයට 27 අඩු බවද වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය.

වගවීම පිළිබඳ ශ්‍රී ලංකාව ඉදිරියේදී තිබෙන අවස්ථා සහ අභියෝග මොනවාදැයි රජය සමග පැවැති සාකච්ඡාවලදී තමන්ට තේරුම් ගැනීමට හැකියාව ලැබුණු බවත් තමන්ගේ මෙරට සංචාරයට පහසුකම් සැලසීම පිළිබඳව රජයට දැඩිව ස්තුතිවන්ත වන බවත් මහ කොමසාරිස්වරයා පැවැසුවේය.

සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ වින්දිතයන් හමුවී සාකච්ඡා කළ බවත් ඔහු පැවැසුවේය.