ලලිත් - කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්
2025 July 30- Page Views : 38 මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත්කර තිබෙන හබයාස් 'කෝපුස් නඩුකරයට' අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය.
මෙම කරුණට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.
කෙසේ වෙතත් පවතින ආරක්ෂක හේතූන් මත තම සේවා දායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි දීමට අපහසු බවත්, කොළඹ අධිකරණයක ඒ සඳහා සූදානම් බවත් නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.
එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට දැනුම් දී ඇත්තේ, මෙම ඉල්ලීම අද සිට සති හතරක් තුළ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සුදුසු නියෝග ලබාගැනීමට කටයුතු කරන ලෙසය.
තම සේවා දායකයා අධිකරණය හමුවේ සාක්ෂි දීමට සූදානම් බැවින් මෙම නඩුකරයේ විභාගය අවසන් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට පෙත්සම්කාර අතුරුදන් වූවන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නුවන් බෝපගේ මහතාද ඒකකතාවය පළකළේය.
ඒ අනුව එම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.
යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
2011 වසරේ දෙසැම්බර් මස 9 වනදා ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුකරයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස 2019 වසරේ දී එවක හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිතාසි නිකුත් කර තිබුණි.
ආරක්ෂක හේතුන් මත තමන්ට යාපනය අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බව සඳහන් කරමින් එම සිතාසි නිකුත් කිරීමේ තීරණයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
එම පෙත්සම විභාග කළ අභියාචනාදීකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට සාක්ෂි දීම සඳහා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණි.
ඒ අනුව අභියාචනාධිකරණයේ එම තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය.