අයිතිය තහවුරුකිරීමට නොහැකි වූ රු. කෝටි 2ක් සමග 08ක් අත්අඩංගුවට
2025 October 24- Page Views : 6
පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට අයත් රුපියල් කෝටි 2කට අධික මුදලක් එහි සේවකයකු විසින් බැංකු ගතකිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදු වූ බවට හැඟීයන පරිදි සැලසුම් කර, එම මුදල් පැහැරගත් කාන්තාවක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශය විසින් සිදුකල වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ පොලිස් වසමේ නාරංමිණිය ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු සන්තකයේ තිබූ බෑගයක් තුළ රුපියල් ලක්ෂ 30ක මුදලක් තිබී ඇති අතර, එම මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත වැඩිදුර විමර්ශන සඳහා එම පුද්ගලයා සහ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම මුදල පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවකයෙකු විසින් එම ආයතනට අයත් මුදල් බැංකුගත කිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදුවූ බවට හැඟීයන පරිදි සැලසුම් කර සැකකරුට ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී මෙම අපරාධයට අදාළව තවත් රුපියල් ලක්ෂ 15ක මුදලක් සමග සැකකාරියක් සහ රුපියල් දෙකෝටි විසි දෙලක්ෂ හතලිස් පන්දාහක මුදලක් (22,245,000) සමග තවත් සැකකරුවන් පස් දෙනෙකු, අපරාධයට යොදාගත් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 45ත් අතර හා සැකකාරිය වයස අවුරුදු 60ක් වන කැලණිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, මාවනැල්ල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.