දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

හබරණ - ත්‍රිකුණාමලය මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හබරණ දෙස සිට කන්තලේ දෙසට ධාවනය වූ කාර් රථයක්, ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරු සහ එහි පසුපස ගමන් කළ පුද්ගලයා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමේදී ත්‍රීරෝද රථයේ රියැදුරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි.

එමෙන්ම අම්පාර, ධර්මපාල මාවතේදී කල්මුණේ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ රියැදුරු, කාන්තාවන් දෙදෙනෙකු සහ දැරියක් තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩවලව ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවකි. මේ අතර කළුතර උතුර, දියගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ද දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හොරණ දෙස සිට කළුතර දෙසට ධාවනය වූ බස් රථයක, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය ගල්පාත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්පාත ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකු සහ 16 හැවිරිදි තරුණියකි.