ගිනිඅවි සහ ජීව පතොරොම් සමගින් අත්අඩංගුවට ගත් කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි සැකකරු සම්බන්ධව රඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය පවසයි. ඊයේ (17) සවස කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්‍රදේශයේ සිනමාහලක් පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී ඒ තුළ තිබූ ගිනි අවි සහ පතොරොම් මෙන්ම අත්බෝම්බද සොයා ගැනීමට පොලිසිය සමත්වූ අතර එහිදි 38 හැවිරිදි මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්විය.

අදාළ සිනමා ශාලාව තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තොල අවි 02, රිවෝල්වර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත රීපිටර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත බොර 12 අවියක්, බෝර 12 ජීව පතොරොම් 398ක්, බෝර 16 ජීව පතොරොම් 278, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 49ක්, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 3083ක් සහ ජීව අත්බෝම්බ 02ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බවය.

ඒ අනුව සැකකරු සම්බන්ධව රැඳවුම් නියෝග ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.