අහංගම, කතළුව පාලම අසලදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ මාතර සිට ගාල්ල බලා ධාවනය වූ ටිපර් රථයකි.

අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් සිව්දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර, ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

පොලීසිය සඳහන් කළේ, ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කෙසේවෙතත් මෙම අනතුර හේතුවෙන් ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.