මෙම වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 13,612ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් එම මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10,761ක ආදායමක් ද, සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,850ක ආදායමක් ද උපයාගෙන තිබේ.
එමෙන්ම, ඉතිහාසයේ පළමු වරට 2026 සැප්තැම්බර් මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,691ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සභාපතිවරයා පැවසීය.
එය 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 17.2ක වර්ධනයක් බව ද මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,385ක ආදායමක් වාර්තා වී ඇති අතර, එය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 21.6ක වර්ධනයකි.
එමෙන්ම, සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 306ක ආදායමක් උපයා ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙරට අපනයනකරුවන්ට තවදුරටත් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ප්රවාහන හා රක්ෂණ ගාස්තු ඉහළ යෑම මෙන්ම කලාපීය රටවල අපනයන කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් ද ඊට බලපා ඇති බව සභාපතිවරයා පැවසීය.
එම අභියෝග මධ්යයේ වුවද මෙරට අපනයනකරුවන් අඛණ්ඩව දරන උත්සාහය සහ රටේ අපනයන ක්ෂේත්රයේ වර්ධනය සඳහා ඔවුන් ලබාදෙන දායකත්වය සභාපතිවරයාගේ ඇගයීමට ලක්විය.
සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඉහළ අපනයන ආදායම ධනාත්මක ප්රවණතාවක් ලෙස සැලකිය හැකි බව සඳහන් කළ මංගල විජේසිංහ මහතා, ඉදිරි මාසවලදී ද මෙම වර්ධනය පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ද පැවසීය.
ඒ අනුව, 2026 වසර තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මංගල විජේසිංහ මහතා දැක්වූ අදහස්,
“ඉතිහාසයේ පළමු වතාවට සැප්තැම්බර් මාසයේදී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,691ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසය සමඟ සසඳන විට එය සියයට 17.2ක කැපීපෙනෙන වර්ධනයක්. එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,385ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 21.6ක වර්ධනයක්. ඒ වගේම, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 306ක් ලෙස වාර්තා වෙනවා. පසුගිය මාස නවයක කාලය තුළ, විශේෂයෙන්ම ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ශ්රී ලංකාවේ සමස්ත අපනයන කාර්යසාධනය අමෙරිකානු ඩොලර් මිලියන 13,612ක මට්ටමකට ළඟා වී තිබෙනවා. එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,761ක් ලෙසත්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,850ක් ලෙසත් වාර්තා වෙනවා.
විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදයේ බලපෑම තවමත් අපේ අපනයනකරුවන්ට දැනෙනවා. එම අර්බුදය හේතුවෙන් ප්රවාහන හා රක්ෂණ ගාස්තු ඉහළ යෑමත්, කලාපයේ රටවල අපනයන කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයත් නිසා අපේ අපනයනකරුවන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. එම අර්බුද මධ්යයේ වුවද අපේ අපනයනකරුවන් අඛණ්ඩව දරන උත්සාහය අගය කළ යුතුයි. රටේ අපනයන ක්ෂේත්රයේ වර්ධනය සඳහා ඔවුන් ඉතා ඉහළ දායකත්වයක් ලබාදෙමින් සිටිනවා. සමස්තයක් වශයෙන් ගත් විට, සැප්තැම්බර් මාසයේදී වාර්තා කළ මෙම ඉහළ අපනයන ආදායම ඉතා ධනාත්මක ප්රවණතාවක් ලෙස අපි සලකනවා. ඉදිරි මාස තුන හතරක කාලය තුළත් මෙම වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, මේ වසරේදී ශ්රී ලංකාවට අත්කර ගත හැකි ඉහළම ඉලක්කය වන අමෙරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවූ අපනයන ආදායමක් ලබාගැනීමට අපි උත්සාහ කරමින් සිටිනවා.
ගත වූ මාස 9ට සමස්ත අපනයන ආදායම අ.ඩො. බිලියන 13.6 ඉක්මවයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.