'කාවන්තිස්ස' හස්තියාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීම සහ වනඅලි සංරක්ෂණ වැඩසටහනක් ආරම්භ කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය අඹන්පොළ,කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ වතු පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට නියමිතය.

අදාළ වතු පරිශ්‍රය මියගිය කාවන්තිස්ස හස්තියා නායකත්වය හෙබවූ කහල්ල-පල්ලෙකැලේ අලි රංචුව නිතර ගැවසෙන භූමි ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටා තිබීම විශේෂත්වයකි.

මෙම වෙන්කරන ලද භූමිය කාවන්තිස්ස හස්තියාගේ ජීවමාන ප්‍රතිමාවක් මෙන්ම පර්යේෂණ සහ පුස්තකාල පරිශ්‍රයකින් ද සමන්විතය.

මෙම මධ්‍යස්ථානය හරහා වනඅලි සහ ඇතුන් පිළිබඳ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම, රට තුළ පවතින අලි-මිනිස් ගැටුම සමනය කිරීමට අදාළ ප්‍රායෝගික පියවර ගැනීම සහ වත්මන් හා අනාගත ශ්‍රී ලාංකික පරම්පරාවල යහපත උදෙසා අලි-ඇතුන් සංරක්ෂණය කිරීම ප්‍රධාන අරමුණු අතර වේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 'කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය' මගින් මෙම මුළු ව්‍යාපෘතියම ක්‍රියාත්මක කරනු ලබයි.

කාවන්තිස්ස හස්තියාට මෙන්ම මෙරට වනඅලි සම්පතට ආදරය කරන සියලුම පරිසර හිතකාමී ජනතාවට සහ පාර්ශවකරුවන්ට මෙම උතුම් ජාතික හා පාරිසරික සත්කාරය සඳහා එක්වන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විවෘත ආරාධනයක් කර සිටියි.