දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (07) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

කල්මුණේ - මඩකලපුව මාර්ගයේ 392 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

කල්මුණේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා කල්මුණේ උතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පෙරියනිලාවනි ප්‍රදේශයේ පදිංච සිටි 80 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුද එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පෙරියනිලාවනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තණමල්විල - වැල්ලවාය මාර්ගයේ තෙළුල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 64 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

තණමල්විල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හඳපානාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

එමෙන්ම මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ කහදෙනියගම හන්දිය අසලදී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාදම්පේ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසි කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී යතුරුපැදිකරු සහ කාර් රථයේ රියැදුරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, යතුරුපැදිකරු මියගොස් ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ දුනුකදෙනිය, වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංච සිටි 22 හැවිරිදි තරුණයෙකි.

දුම්මලසූරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.