අග්බෝ හස්තියා නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදු කරන 'හස්ති සේනා' ජාතික මෙහෙයුම නිරීක්ෂණය කිරීමට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අද (14) එක්විය. ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මෙහිදී මෙහෙයුමේ ප්‍රගතිය සහ එය ක්‍රියාත්මක වන ආකාරය සියැසින් නිරීක්ෂණය කළහ. එම අවස්ථාවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ, අලි–මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීමටත්, වන අලි සම්පත මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත් රජය ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවය. ඒ සඳහා ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ දායකත්වය අතිශය වැදගත් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, 212 වන පාබල බලසේනාව යටතේ පවතින 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන දායකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

21 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරල් කමින්ද සිල්වා මහතාගේ, 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායක මහතාගේ අධීක්ෂණය යටතේ, 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් සහ බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදාන මහතාගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සංවිධානය කර තිබිණි.

මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 68 දෙනෙකු ඇතුළුව 75 දෙනෙකුගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් එක්ව සිටියහ.

එමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා ඇතුළු තිරප්පනේ බීට්ටු වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරුන් 03 දෙනෙකු, අඩවි සහකාරවරුන් 06 දෙනෙකු, වනජීවී නියාමකවරුන් 08 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ සහායක නිලධාරීන් 02 දෙනෙකු මෙම විශේෂ මෙහෙයුම සඳහා සහභාගී වූහ.