ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් පාරිභෝගිකයින්ට අහිතකර බලපෑම් ඇති නොවන පරිදි කටයුතු කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අවධාරණය කර තිබේ. එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් බෙදාහරින පෞද්ගලික සමාගමක් විසින් ගෑස් සිලින්ඩරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබිණි. මෙහිදී අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ගෘහස්ථ ගෑස් මිල තීරණය කිරීමේ බලය එම අධිකාරියට නොමැති බවයි. කෙසේ වෙතත්, ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් අදාළ පෞද්ගලික සමාගම සමඟ සාකච්ඡා කර මිල අඩු කිරීමට පියවර ගත් බව ද ඔහු සඳහන් කර තිබේ. එම පෞද්ගලික සමාගමට වෙළෙඳපොළේ හිමි කොටස අඩු බැවින් වැඩි මිලකට ගෑස් මිලදී ගැනීමට සිදුවන බවත්, ඒ අනුව මිලදී ගැනීමේ පිරිවැයට සාපේක්ෂව ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදු වූ බවත් අදාළ සමාගම පැහැදිලි කර ඇති බව ද සභාපතිවරයා කාරක සභාවට දැනුම් දී ඇත. කෙසේ වෙතත්, ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සැපයුමට බාධා ඇති නොවන බවට සහතික වන ලෙසත්, මිල ඉහළ යාම් හේතුවෙන් පාරිභෝගිකයින් පීඩාවට පත් නොවන පරිදි කටයුතු කරන ලෙසත් කාරක සභාව මෙහිදී අවධාරණය කර තිබේ.