Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙල්ලස්ස කැරැල්ලෙ වීරයන්ගෙ නම් හූනන්ට දැම්මෙ නිකම්ම නෙවෙයි!

|Mon,26 August 2019|Gossip| Page Views : 333

අලුත් පුවත්
හොරිවිලෙන් සේනා යළිත් කරලියට
පානදුර දී මාරක රිය අනතුරක්
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්
ප්‍රබල අපරාධකරුවන් 15ක් බූස්ස බන්ධනාගාරයට
මහජන සාමය පවත්වාගෙන යෑම ත්‍රිවිද හමුදාව යටතට
ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග 08 ක් අල්ලයි
කැලණිය බස් නැවතුම අසළ ඝාතනයක්
 
වසර පහළොවකට ආසන්න කාලයක් තිස්සේ සිදුකළ දීර්ඝ ගවේෂණයකින් අනතුරුව ඉකුත් සතියේදී ලංකාවට ආවේණික අලුත් හූනන් විශේෂ හයක් හඳුනා ගැනීමට හැකිවීමත් එම සතුනට හෙළ විරුවන් හයදෙනකුගේ නම් තැබීමත් කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය.

හූනු විශේෂ හයක් අලුතෙන් හඳුනා ගැනීම ජෛව විද්‍යාත්මකව ඉතා වැදගත් සිදුවීමක් වූ අතර පරිසරවේදීහු ඒ පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූහ. එමෙන්ම ඒ සතුනට හෙළ විරුවන් හයදෙනකුගේ නම් තැබීම ගිහි - පැවිදි උගතුන්ගේ සාකච්ඡාවටත් ඇතැමුන්ගේ දැඩි දෝෂදර්ශනයටත් ලක් විය.

අපේ රටේ වනජීවීන් ගැන හැදෑරීමේදීත් සංරක්ෂණය කිරීමේදීත් මුල්තැන ලැබී ඇත්තේ අලින්, කොටින්, වලසුන් වැනි සතුන්ටය. අනෙකුත් ක්ෂීරපායී සතුන්ට මෙන්ම පක්ෂීන්ටද යම්කිසි අවධානයක් යොමුවී තිබේ. නමුත් විශාල විශේෂ ගණනක් මිහිතලයෙන් සදහටම වඳවී ගොස් තවත් විශේෂ විශාල සංඛ්‍යාවක් දැඩිලෙස වඳවීමේ තර්ජනයට ලක්වී ඇති සංරක්ෂණය කළ යුතුම සත්ත්ව කොට්ඨාසයක් වූ උරගයන් සහ උභය ජීවීන් ගැන ප්‍රමාණවත් හැදෑරීමක් සිදු කිරීමට පර්යේෂකයන් කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. එසේම මේ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී නොතිබීමද සංරක්ෂණවේදීන්ගේ කනස්සල්ලට හේතුවී ඇත.

ලංකාව විවිධ දේශගුණ කලාපවලින් යුත් නිවර්තන දූපත් රාජ්‍යයකි. එහි ජෛව විවිධත්වය ඉතා ඉහළය. වැඩිම ජෛව විවිධත්වයක් දැකිය හැක්කේ උරගයන්, උභය ජීවීන් සහ කෘමි සතුන් අතරෙනි.

විවිධ පර්යේෂණ සඳහා සජීවී සහ අජීවී සත්ත්ව නිදර්ශක හොර රහසේ රැගෙන යන බටහිර දියුණු රටවල සිට ක්‍රියාත්මක වෙන්නා වූ ජාන ජාවාරම්කරුවන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් බවට ලංකාව පත්ව ඇත්තේ එහි ඇති ඉහළ ජෛව විවිධත්වය නිසාවෙනි.

පසුගිය සමයේදී උරග, උභය ජීවීන් සහ කෘමි සතුන් සමඟ විදේශිකයන් ගණනාවක් අත්අඩංගුවට පත්වූ නමුත් ජීවී අජීවී සත්ත්ව නිදර්ශක රැගෙන හොර රහසේම රටින් පැන ගිය ජාවාරම්කරුවන්ගේ ගණන මෙතෙකැයි කියා කිව නොහැකිය.

බොහෝ දෙනකුගේ සිතිවිල්ල වන්නේ කුඩා සතුන්ගෙන් මානව ජන සමාජයට බලපෑමක් සිදු නොවන බවයි. එයට හේතුව ගෙම්බන්, කටුස්සන්, හූනන් වැනි සතුන් නිසා සිදුවන පාරිසරික තුලනය ගැන ඔවුන්ට ඇති අනවබෝධයයි. මදුරුවන්ද ඇතුළු කෘමි සතුන් ඉහත සඳහන් කළ උරග සහ උභය ජීවීන්ගේ සුලබ ආහාරයකි. ඩෙංගු, මැලේරියාව, බරවා වැනි රෝග බෝකරන මදුරුවන්ද, සේනා දළඹුවන් වැනි සතුන්ද අපගේ සෞඛ්‍ය සහ ආර්ථික ක්‍ෂේත්‍රයට සිදුකළ බලපෑම ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

උරග සහ උභය ජීවීන්ගේ ජෛව විශේෂ විවිධත්වයක ඇති විද්‍යාත්මක වටිනාකම පිළිබඳව සාමාන්‍ය පොදු ජනතාව, රටේ පාලකයන් පමණක් නොව උගතුන් වන ඉහළ නිලධාරීන්ට පවා අවබෝධයක් නොතිබීම අපගේ අධ්‍යාපන ක්‍රමයේ වරදක් විය යුතුමය. සංවර්ධන ව්‍යාපෘතියක් හෝ වෙනත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී එයින් පරිසරයට සහ එහි සිටින ජීවීන්ට සිදුවන බලපෑම පිළිබඳ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (ඡ්ධ්ඒ අඥනධපබ) ලබාගත යුතු බවට නීති සම්පාදනය වන්නේ ඉතා මෑතක සිටය. උරග, උභය ජීවීන් හෝ යම්කිසි කෘමි විශේෂයක් ඇතැම් විටෙක හෙක්ටෙයාරයක හෝ දෙකක පරිසර පද්ධතියකට පමණක් සීමා වී සිටිය හැකිය. එවිට එම භූමියෙහි සිදුවන වෙනස් වීමක් නිසා ස්ථානයට ආවේණික වූ සත්ත්ව විශේෂයක් මිහිතලයෙන් සදහටම වඳවී යෑම ශෝචනීය තත්ත්වයකි.

කිසියම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කරන්නේ ව්‍යාපෘතිය නිසා පරිසරයට හෝ එහි සිටින ජීවීන්ට සිදුවෙන බලපෑම අධ්‍යයනය කොට ව්‍යාපෘතියෙහි වෙනසක් සිදුකිරීම හෝ වඳ වී යාහැකි ජීවීන් වෙනත් පරිසරයකට රැගෙන ගොස් සංරක්ෂණයට පියවර ගැනීමට විනා රටේ සංවර්ධනයට අකුල් හෙළීමට හෝ සංවර්ධන යෝජනා ක්‍රම නවතා දැමීමට නොවේ. අපේ රටේ උරග සහ උභය ජීවීන් සම්බන්ධව මේ වනතුරු පුළුල් අධ්‍යයනයක් සිදුකර විශේෂ වෙන්කර හඳුනා ගැනීමක් සිදුකර නොමැති බැවින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදෙන පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා කොතෙක් දුරට නිවැරැදි දැයි කිසිවකුට පැවැසිය නොහැකිය.

මොරටුවෙහි පදිංචි සුරන්ජන් කරුණාරත්න තරුණ සත්ත්ව විද්‍යාඥයකි. සිය මූලික උපාධියත් පශ්චාත් උපාධියත් සඳහා පාරිසරික කළමනාකරණය විෂය තෝරාගත් හෙතෙම ලෝක සංරක්ෂණ සංගමයේ (ධ්උඛ්ව්) වසර පහක පමණ කාලයක් රැකියාවෙහි නියුක්ත වීමෙන් අනතුරුව නිදහස් ජීව විද්‍යාඥයකු ලෙස රටට සේවය කිරීම අරඹා මේ වනවිට වසර ගණනාවක් ගතවී තිබේ. බහුතරයක් සත්ත්ව විද්‍යාඥයන් අලින්, කොටින්, වලසුන් ඇතුළු ක්ෂීරපායී සතුන් ගැනත් තවත් පිරිසක් පක්ෂීන් සහ මත්ස්‍යයන් ගැනත් පර්යේෂණ කරද්දී කිසිවකුත් අවධානය යොමු නොකළ උරග සහ උභය ජීවීන් පිළිබඳ අධ්‍යයනයක් කිරීම බෙහෙවින්ම වැදගත් වන්නේ යැයි සුරන්ජන් කරුණාරත්න මහතා කල්පනා කළේය.

ඒ අනුව හෙතෙම රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය කණිෂ්ක උකුවෙල මහතාට සිය අරමුණ පැහැදිලිකොට අධ්‍යයනය සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් එක්රැස් කර ගන්නා ආකාරය සැලසුම් කළේය.

අලින්, කොටින්, වලසුන් ගැන මෙන් නොව උරග සහ උභය ජීවීන් පිළිබඳ දීපව්‍යාප්තව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමෙන් විශේෂ හඳුනා ගැනීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා විශේෂඥ සහභාගිත්වයත් නූතන තාක්ෂණික ක්‍රමෝපායන්ගේ භාවිතයත් ඇවැසිමය. එමෙන්ම සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ යුතු කර්තව්‍යයට විශාල කාලයකුත්, ශ්‍රමයක් සහ මුදලකුත් වැය කළ යුතු වන්නේය. සුරන්ජන් කරුණාරත්න මහතා නිකම්ම විද්‍යාඥයකු නොව දුෂ්කර බව නිසාම වෙනත් අය අත නොගැසූ දෙයක් කිරීමට වෙර දරන තරුණයකි. සුරන්ජන් සහ කණිෂ්ක උකුවෙල දෙදෙනා ඊළඟට ඔවුන්ට සම්බන්ධ කර ගන්නේ මජින්ත මඩවල, දිනේෂ් ගබඩාගේ සහ මාධව බොතේජු යන උරග විද්‍යාඥයන් තිදෙනාවය. අවසානයේදී ඔවුහු ලංකාවේ සිටින ජේ‍යෂ්ඨතම උරග විද්‍යාඥයා ලෙස සැලකෙන ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා මහතාව ද සම්බන්ධ කර ගත්හ.

ඉන්පසු ඔවුන්ට විදේශීය තාක්ෂණ සහායත් දැනුම සහ අත්දැකීම්වල අවශ්‍යතාවත් තදින්ම දැනිණි.

ඒ අනුව එම කණ්ඩායමටම ලෝකප්‍රකට උරග සහ උභය ජීවී විද්‍යාඥයන් වන රුසියාවේ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නිකලොයි පොයර්කෝ සහ වැලඩ් ගෝරින් යන මහාචාර්යවරුන් දෙදෙනාත් ඇමෙරිකාවේ විලානෝවා විශ්වවිද්‍යාලයේ සේවය කරන ජේ‍යෂ්ඨ මහාචාර්ය ඇරන් බවර් මහතාත් ඇමෙරිකාවේ රිච්වෝටර් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිළිණ සූරසිංහ මහතාත් එක් වූහ.

විද්‍යාඥයන් දහ දෙනකුගෙන් යුත් කණ්ඩායමට සහායක කාර්ය මණ්ඩලයක්ද සම්බන්ධ කර ගත්තේ දුෂ්කර වූ ගිරිදුර්ග පවා තරණය කරමින් ගවේෂණ කටයුතු සිදුකළ යුතු නිසාවෙනි.

ශුෂ්ක කලාපය, වියළි කලාපය, පහතරට සහ කඳුකර තෙත් කලාප, වනජීවී අභයභූමි මෙන්ම වනෝද්‍යාන, සිංහරාජය, ශ්‍රී පාදය ආදී රක්ෂිත සහ ඇතැම් විට අතිදුෂ්කර ගල්පරවල පවා ඔවුහු අධ්‍යයන කටයුතුවල නිරත වූහ.

එහිදී මෙතෙක් හඳුනා ගෙන තිබී දිගු කලකින් වාර්තා නොවූ සතුන් තහවුර ැකර ගැනීමත්, මෙතෙක් හඳුනා නොගත් අලුත් විශේෂයක් බවට සැකකෙරෙන සතුන් හමුවූ වීට සුරක්ෂිතව අල්ලා වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා රැගෙන ඒමත් සිදු කෙරිණි. එලෙස සැකය මත අල්ලා ගන්නා සතුන් සත්‍ය වශයෙන්ම අලුත් විශේෂයක් බවට තහවුරු කර ගන්නේ රූප විද්‍යාව සහ ජාන විද්‍යාව ඔස්සේ සිදුකරනු ලබන පර්යේෂණවලින් පසුවයි. ඒ සඳහා සතුන්ගේ රුධිර සාම්පල පවා ලබා ගැනීමට සිදුවේ. අලුත් සත්ත්ව විශේෂයක් හඳුනා ගැනීම පහසුවෙන් කළ හැකි සරල කාර්යයක් නොවන බව දන්නේ ස්වල්ප දෙනෙකි.

මෑත ඉතිහාසයේ ලංකාවේ උරග සහ උභය ජීවීන් පිළිබඳ සිදුකෙරෙන පුළුල්ම අධ්‍යයනය සිදුකරමින් සිටින මෙම කණ්ඩායමට අපේ රටට ආවේණික වූ අලුත් හූනු විශේෂ හයක් හඳුනා ගැනීමට හැකිවී තිබෙන අතර ඒ සඳහා ඔවුන් වසර දහ හතරක කාලයක් ගතකර තිබේ.

රටකට ආවේණික වූ සත්ත්වයකු හඳුනා ගැනීමෙන් අනතුරුව උෟට ලබාදෙන ජීව විද්‍යාත්මක නාමයේ කොටසකට එම රටට අමිල මෙහෙවරක් ඉටු කරන ලද පුද්ගලයකුගේ නමක් ලබාදීම ඇතැම් විටෙක සිදුවෙන අතර එය සාමාන්‍ය සම්ප්‍රදායකි. ඒ අනුව මෙම හූනන් හයදෙනාව දස මහ යෝධයන් දෙදෙනකුගේ නමිනුත් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගෙන් රට මුදා ගැනීමට සටන් කොට උෟව වෙල්ලස්ස කැරැල්ලේදී දිවිදුන් විරුවන් සිවුදෙනකුගේ නමිනුත් නම් කරන ලද්දේ ඔවුන්ට කරන ලද ගෞරවයක් ලෙසිනි. එලෙස නම් ලබාදීමට පුද්ගලයන් තෝරා ගත්තේ පර්යේෂණ කණ්ඩායමේ සිටි විද්‍යාඥයන් දහදෙනාගේම ඒකමතික තීරණයකට අනුවය.

අම්පාර පානම කුඩුම්බිගල ප්‍රදේශයෙන් හමු වූ හූනාව නන්දිමිත්‍ර නමින්ද, පදියතලාව කොකාගල ප්‍රදේශයෙන් හමු වූ හූනාව ගෝඨයිම්බර නමින්ද නම් කරන ලද අතර මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයෙන් හමුවූ හූනාව වෙල්ලස්ස කැරැල්ලේදී ජීවිතය පූජා කළ කොහුකුඹුරේ රාල සිහිවීම පිණිස කොහුකුඹුර නමින් නම් කරන ලදී. රත්නපුර, බඹරබොටුව ප්‍රදේශයෙන් සොයාගත් හූනා බූටෑව නමිනුත් නුවරඑළිය, වලපනෙන් සොයාගත් හූනා කිවුලේගෙදර නමිනුත්, මොනරාගල මරගලකන්දෙන් සොයාගත් හූනා හිටිහාමි නමිනුත් නම් කරන ලදී. ඔවුන්ද වෙල්ලස්ස කැරැල්ලේදී රට වෙනුවෙන් දිවි පිදූවන්ය.

විදේශ රටවලින් සොයාගත් එම රටවලට ආවේණික වූ හූනන්, කටුස්සන්, ගෙම්බන්, කුරුමිණියන් සඳහා වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා සහ ජෝර්ජ් බුෂ් යන අයගේ නම් ලබාදී ඇත්තේ ඒ ජනාධිපතිවරුන්ට ගරු කිරීමක් ලෙසය.

එය නයිට් නාමයක් ලබාදී සිදුකෙරෙන ගෞරවයකට සමාන බව සඳහන් වේ. ජර්මනියේ සිටි අසහාය නායකයකු වූ හිට්ලර්ගේ නමින්ද ගෙම්බකු නම් කොට තිබේ. කලක් තිස්සේ රට තුළ සිදු කෙරෙන උරග සහ උභය ජීවීන් පිළිබඳ අධ්‍යයනයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති බලපත්‍ර ලබන වසරේදී කල්ඉකුත් වීමට නියමිතව ඇත.

දහසක් කම්කටොලු බාධක මැද සිදුකෙරෙන ජීව විද්‍යාත්මක ගවේෂණවලට ලංකාවේදී ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය. එයට හේතුව රටේ පාලකයන්ටත් ඉහළ නිලධාරීන්ටත් ජෛව විද්‍යාත්මක ගවේෂණයක ඇති වැදගත්කම නොතේරීමයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න