Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ට්‍රම්ප් අර්බුධයක

|Tue,01 October 2019|Special| Page Views : 47

අලුත් පුවත්
දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට
දුම්රිය වර්ජනය තවදුරටත්
වප් පුර අටවක පොහෝ දින ජාතික නිවාඩු දිනයක් වෙයි
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද
ප්‍රථම 20-20 ශතකය චමරිගෙන්
දුම්රිය ධාවනයට අද සිට විශ්‍රාමිකයින්
මාධ්‍යවේදීන්ට අද සිට පාර්ලිමේන්තුවේ අළුත් තැනක්
චීන ජාතිකයෙක් සැකකටයුතු ලෙස මියගිහින්
 
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඔහුගේ විරුද්ධවාදීන් සූදානම් වීම මේ වනවිට ලෝක දේශපාලන සිදුවීම් අතර වඩාත්ම අවධානයක් යොමුව ඇති සිද්ධියක් බවට පත්ව තිබේ.

ඔහු ධුරයෙන් පහ කිරීම අරමුණු කරගෙන මෙම දෝෂාභියෝගය ගෙන එන්නට සැරසෙන්නේ ඇමෙරිකානු කොංග්‍රසයෙහි නියෝජිත මන්ත්‍රි මණ්ඩලය තුළ සිටින ඩිමොක්‍රටික් පක්‍ෂ කණ්ඩායමයි. යම්කිසි පුද්ගලයකුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේදී මුලින්ම සිදුවන්නේ කොංග්‍රසය විසින් අදාළ චෝදනා පිළිබඳ විමර්ශනයක් සිදුකරනු ලැබීමය. මේ වනවිට එම විමර්ශන ක්‍රියාදාමය ආරම්භ කර තිබේ. එසේ විමර්ශනයට ලක් කරනු ලබන, ට්‍රම්ප්ට එරෙහිව ඇති චෝදනා මොනවා දැයි මුලින්ම සලකා බලමු.

පසුගිය ජූලි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේනයේ ජනාධිපති වන වොලොදිමීර් සෙලෙන්ස්කි වෙත දෙන ලද දුරකතන ඇමැතුමක් එම චෝදනාවලට පසුබිම් වෙයි. එහිදී ජෝ බයිඩ්න් සහ ඔහුගේ පුත් හන්ටර් බයිඩ්න් යන ඇමෙරිකානුවන් දෙදෙනා යුක්රේනය තුළ දී සිදුකළ බව කියන කිසියම් වංචා හා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන මෙන් සෙලෙන්ස්කිගෙන් ඉල්ලා ඇති බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල වෙයි. එපමණක් නොව එවැනි විමර්ශනයක් කිරීම ස¼දහා යුක්රේන ජනාධිපතිවරයා මත පීඩනයක් ඇති කරනු පිණිස, ඇමෙරිකාවෙන් එරටට ලබාදීමට නියමිත වූ ආධාර තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බවටද චෝදනාවක් නැඟී තිබේ. එම ආධාරවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට ආසන්න බවද සඳහන් වේ.

ජෝ බයිඩ්න් යනු 2020 වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වීමට ඉඩ ඇති අපේක්‍ෂකයෙකි. ඩිමොක්‍රටික් පාක්‍ෂිකයකු වන ඔහු හිටපු උප ජනාධිපතිවරයකුද වෙයි. හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ කාලයේදී උප ජනාධිපති ලෙස කටයුතු කළේ බයිඩ්න්ය. මේ වනවිට බයිඩ්න් 2020 ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් නාමයෝජනා දිනාගැනීම සඳහා ඉදිරිපත්ව සිටියි.

එම පක්‍ෂයෙන් නාම යෝජනා ලබාගැනීමට තවත් අපේක්‍ෂකයන් කිහිපදෙනකුම සටන් කරන අතර ඒ අතරින් බයිඩ්න් ඉදිරියෙන්ම සිටින අපේක්‍ෂකයකු ලෙස සැලකේ. මෙවන් පසුබිමක් යටතේ ට්‍රම්ප් ඔහුට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස යුක්රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ තමන්ගේ පෞද්ගලික දේශපාලන අරමුණක් වෙනුවෙන් බවට චෝදනා නැඟේ.

ජෝ බයිඩ්න්ගේ පුත් හන්ටර් කලක් යුක්රේනයේ තෙල් සමාගමක අධ්‍යක්‍ෂ ධුරයක් දරා ඇති බව සඳහන් වෙයි. ඒ කාලයේ සිදුවූ බව කියන වංචා හා දූෂණයන්ට හන්ටර් බයිඩ්න් පැටලෙන්නට ගිය බවත්, එම අවස්ථාවේදී එවකට එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා වූ ජෝ බයිඩ්න් සිය පුත්‍රයා බේරාගැනීම සඳහා මැදිහත් වූ බවත් ට්‍රම්ප් පාර්ශ්වය නඟන චෝදනාවයි.

ඉහත කී වංචා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සූදානම් වූ යුක්රේන නීතිපතිවරයකු ඉවත් කිරීමට ජෝ මැදිහත්ව ඇති බවට ද ඔවුහු චෝදනා කරති. කෙසේ නමුත් ඩිමොක්‍රටික් පාර්ශ්වය පවසන්නේ මෙම චෝදනාවල කිසිදු පදනමක් නොමැති බවය.

ජනාධිපතිවරයා ඔහුගේ පෞද්ගලික දේශපාලන අරමුණක් වෙනුවෙන් විදේශීය රාජ්‍යයක් මැදිහත් කරගැනීම, ඇමෙරිකාවේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමක් බව ඩිමොක්‍රටික් පාර්ශ්වයේ ස්ථාවරයයි. එමෙන්ම ඔහු ඇමෙරිකානු ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවටත්, ජනාධිපතිවරණ ක්‍රියාවලියේ විශ්වසනීයත්වයට කැලලක් කර ඇති බවටත් තවදුරටත් චෝදනා එල්ල වෙයි. දැන් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නට ඩිමොක්‍රටික් කණ්ඩායම සැරසෙන්නේ මෙම පදනම මතය. ඉහත කී චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට කොංග්‍රසය තුළ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී එම චෝදනා සනාථ කෙරෙන සාක්‍ෂි ඇතැයි තහවුරු වුවහොත් ඉන්පසු දෝෂාභියෝගය සඳහා අනුමැතිය විමසනු ලබනු ඇත.

මුලින්ම එය සම්මත කළ යුතු වන්නේ කොංග්‍රසයේ පහළ මන්ත්‍රණ සභාව වන නියෝජිත මන්ත්‍රි මණ්ඩලය විසිනි. එය සියයට 50ට වැඩි සාමාන්‍ය බහුතරයකින් සම්මත වුවහොත් ඊළඟට ඉහළ මන්ත්‍රණ සභාව වන සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත. සෙනෙට් මණ්ඩලයේ දී මේ පිළිබඳව නැවතත් විභාගයක් පැවැත්වෙයි. එයින් පසු එය සෙනෙට් මණ්ඩලය තුළ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුය. මේ වනවිට ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ බහුතරයක් සිටින්නේ ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන් නිසා එහි දී මෙය සම්මත වීමට වැඩි ඉඩක් තිබේ. නමුත් සෙනෙට් මණ්ඩලයේ බහුතරය අයත් වන්නේ ට්‍රම්ප්ගේ පක්‍ෂය වන රිපබ්ලිකන් පක්‍ෂයටයි. ඒ නිසා එහිදී මෙය සම්මත නොවනු ඇති බව බොහෝදෙනාගේ විශ්වාසයයි.

ඇමෙරිකානු ඉතිහාසය තුළ මෙයට පෙර ජනාධිපතිවරුන් දෙදෙනකුට එරෙහිව මෙවැනි දෝෂාභියෝග ඉදිරිපත්ව තිබේ. ඒ 1865 ජනාධිපති පදවියට පත් වූ ඇන්ඩෘෘ ජොන්සන්ට එරෙහිව සහ 1993 එම පදවියට පත් වූ බිල් ක්ලින්ටන්ට එරෙහිවය. නමුත් මේ දෙදෙනාම ධුරවලින් ඉවත් කිරීමට එම දෝෂාභියෝගවලට හැකි වූයේ නැත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න