Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයයි ආකාශ්ගේ චරිතයයි අහසයි පොළොවයි වගේ

|Wed,04 March 2020|Special| Page Views :

කැලුම් අපිට මේ දවස්වල මුණගැහෙන්නේ ‘රැස්’ ටෙලි නිර්මාණයෙන්. කැලුම්ට රැස් විහිදන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මම මීට කලින් සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ රඟපෑවා. එය අධ්‍යක්ෂණය කළ ටොලමි අයියා තමයි රැස් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නෙත්. සිද්ධාර්ථ ගෞතම නාට්‍ය කරන කාලෙත් නර්තනයත් තිබෙන නාට්‍යයක් කරමු කියලා සැලසුමක් අපි අතර තිබුණා. ඒ සැලසුම්වල ප්‍රතිඵලයක් විධියට තමයි රැස් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ.

රැස් එක්ක කැලුම් ප්‍රේක්ෂකයන්ට ළං වෙන්නේ ආකාශ්ගේ චරිතයෙන්?

ඔව්. රැස් නාට්‍යයේ මම රංගනයට සම්බන්ධ වෙන්නේ ආකාශ්ගේ චරිතයට. ආකාශ් කියන්නේ නර්තන ශිල්පියෙක්. ඔහු ගැහැනු ළමයෙක්ට ආදරය කරනවා. සුන්දර හිතුවක්කාරකම් කරනවා ගැහැනු ළමයව මුණගැහෙන්න. මගේ ඇත්ත ජීවිතයත් එක්ක ආකාශ්ගේ චරිතය ළඟින් යනවා.

සැබෑ ජීවිතේ කැලුම් ශ්‍රී මොන වගේ කෙනෙක්ද?

මට යාළුවෝ ඉන්නවා. මම එයාලා එක්ක එකතුවෙලා සෙල්ලම් කරනවා. විනෝදයෙන් ඉන්නවා. හැබැයි මම ටිකක් නිහඬ චරිතයක්.

සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයෙන් දැකපු ඔබ මේ වගේ චරිතයකින් එළියට එද්දී ප්‍රේක්ෂකයෝ ඒ වෙනස භාරගෙන තිබෙන්නේ කොහොමද?

මට සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයට පුදුමාකාර ප්‍රතිචාර ලැබුණා. සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ රඟපාපු සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයයි රැස් නාට්‍යයේ රඟපාන ආකාශ්ගේ චරිතයයි අහසයි පොළොවයි වගේ. ආකාශ්ගේ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම රොමෑන්ටික් සීන් හොඳට කරනවා කියලත් සමහරු කියනවා. නමුත් සියයට දෙකක තුනක, වගේ පිරිසක් සිද්ධාර්ථ කුමරුගේ චරිතයෙන් දැකපු මාව මේ වගේ චරිතයකින් දකින්න කැමැති නැහැ. හැබැයි එහෙම ඉන්නේ සුළු පිරිසක්.

ඒ කියන්නේ සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයෙන් ගොඩනඟාගත්ත ප්‍රතිරූපයෙන් පිට වෙනසකින් ඔබව දකින්න සමහරු කැමැති නැහැ?

ලෝකේ උතුම්ම චරිතයක් තමයි සිද්ධාර්ථ කුමරුගේ චරිතය. ඒ චරිතය යම් නිර්මාණයක රඟපාන්න ලෝකෙන්ම අවස්ථාව ලැබෙන්නේ කිහිප දෙනාටයි. ඉතින් මමත් ඉන් කෙනෙක් වෙන්න ලැබීම වාසනාවක්. ඒ වගේ චරිතයක් කළාම ඒ ශිල්පියා වෙන චරිතයකින් දකිනවට සමහර ප්‍රේක්ෂකයෝ කැමැති නැහැ. ඒ චරිතයට තිබෙන භක්තිය නිසා. නමුත් මම රංගන ශිල්පියෙක්. මට විවිධ චරිත කරන්න වෙනවා.

කැලුම් වෙනස් චරිත රංගනයන් හොයාගෙන යන නළුවෙක්ද?

මම වෙනසට කැමැතියි. මම කරන චරිතයට උපරිම දායකත්වය දෙනවා. මම ටෙලි නාට්‍ය දෙකකයි රඟපෑවේ. මම ඒ නිර්මාණවල චරිත රඟපෑවා විතරයි. මම සිද්ධාර්ථ කුමරුවත්, ආකාශ්වත් නෙමෙයි. මම කැලුම් ශ්‍රී. ඉතින් මම කැමැතියි විවිධ චරිත රඟපාන්න. මට ඇබ්නෝමල් (අසාමාන්‍ය) චරිතයක් කරන්න ලැබුණොත් මම ඒ වගේ චරිතයක් හරි කරන්න කැමැතියි.

රැස් ටෙලි නිර්මාණය නිසා කැලුම්ට ගැහැනු ළමයින්ගේ ප්‍රතිචාර වැඩියිලු නේද?

ඔව්. මේ දවස්වල තරුණියන්ගේ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍යවලින් විවිධ ප්‍රතිචාර දක්වනවා. මම හිතට වදින්න රඟපානවා, මම රඟපාද්දි ඇස්වලිනුත් කතා කරනවා කියලා සමහරු කියනවා. ප්‍රේක්ෂක, ප්‍රේක්ෂිකාවන් මගේ රංගනයට දක්වන ප්‍රතිචාරවලට මමත් ප්‍රතිචාර ලබාදෙනවා. එහෙම ප්‍රතිචාර දක්වද්දි සමහරු පුදුම වෙනවා. ‘ඇත්තටම මේ ඔයාද’ කියලත් අහනවා. මම මට ලබාදෙන ප්‍රතිචාරවලට පුළුවන් විධියට වෙලාව හොයාගෙන ප්‍රතිචාර ලබාදෙනවා.

කැලුම් නළු හීනය ඇතුළේ ජීවත් වුණ කෙනෙක්ද?

රූපවාහිනිය බලද්දි පොඩි කාලේ මට ආසාවක් තිබ්බා ටී.වී. එක කඩාගෙන ඒක ඇතුළට යන්න. මම පුංචි කාලේ හිතුවේ රූපවාහිනිය ඇතුළේ මිනිස්සු ඉන්නවා කියලා. පාසල් යන කාලේ වෙද්දි රිතික් රෝෂන්ට මම පිස්සුවැටිලා හිටියේ. ඉතින් මම ගෙදර ‍ෙදාර වහගෙන රිතික් වගේ නටන්න පුරුදු වුණා. අම්මා, අප්පච්චි, මල්ලි තමයි ඒ ගැන දැනගෙන හිටියේ. ඊට පස්සේ එක්තරා නර්තන වැඩසටහනකට අම්මා මගේ අයැදුම්පතක් දාලා තිබුණා. ඒ ගමනත් එක්ක මම වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙන්න ගත්තා. ඒ කාලේ වෙද්දි තමයි නළුවෙක් වෙන්න ඕනකම ඇති වුණේ.

හැබැයි කැලුම් ටෙලි නාට්‍ය රංගනයට එකතු වෙන්නේ කාලයක් ගිහින්?

අවුරුදු අටකට විතර පස්සේ තමයි මට මුලින්ම සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණේ. සමහර තිර පරීක්ෂණවලට ගියාම මාව ගන්නවා කියනවා. ඊට පස්සේ ඒ ටෙලි නාට්‍ය විකාශය වෙද්දි තමයි මම දන්නේ මං නැතිව ඒ නාට්‍ය කරලත් ඉවරයි කියලා. කොහොමින් කොහොම හරි මට සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍ය එක්ක හොඳ චරිත නිරූපණයක් කරන්න ලැබුණා.

රංගන ක්ෂේත්‍රය ඇතුළේ තමන්ගේ තැන රැකගන්න, අවස්ථා ගන්න තරගයක් තියෙනවා. ඔබට ඒ තරගය ඇතුළේ ස්ථාවරයක් හදාගන්න පුළුවන් වෙයිද?

ඒක තමන් කරන වැඩ අනුව තමයි තීරණය වෙන්නේ. අපිට අභියෝගය අපිමයි. තමන්ට පැවරෙන දේ හරියට කළේ නැත්නම් ක්ෂේත්‍රයේ හොඳ තැනක් හදාගන්න බෑ. මම මහන්සි වෙනවා කරන දේ හරියට කරලා මගේ ස්ථාවරය හදාගන්න.

අලුත් රංගන ශිල්පියෝ ප්‍රධාන චරිතම හොයාගෙන යනවා. කැලුම් කියන්නෙත් ප්‍රධාන චරිතම බලාපොරොත්තු වෙන නළුවෙක්ද?

මම ප්‍රධාන චරිතම බලාපොරොත්තු වෙන්නේ නෑ. කරපු නාට්‍ය දෙකේම මම කළේ ප්‍රධාන චරිත. සහාය චරිතයක් වුණත් ඒ චරිතය තුළ දෙයක් කරන්න තියෙනවා නම් මම ඒක කරනවා. සමහර අලුත් අයට ප්‍රධාන චරිත පිස්සුවම ගහනවා. නමුත් එහෙම වුණාම වෙන්නේ නිර්මාණය පිටුපස එද්දි අපි ඇදගෙන ඉස්සරහින් යන එක. නමුත් විය යුත්තේ නිර්මාණය ඉස්සරහින් තියාගෙන යන එක.

කැලුම් කියන්නේ නළුකම ඔළුවට ගන්නේ නැතිව පොළොවේ පය ගහලා ඉන්න චරිතයක්ද?

මම හොඳට පොළොවේ පය ගහලා ජීවත් වෙන චරිතයක්. මට හිතුණොත් සෙරෙප්පු දෙකක් දාගෙන කොට කලිසමක්, ස්කිනියක් දාගෙන පාරට යනවා. හැබැයි ගෙදර අය දැන් මට මතක් කරනවා නළුවෙක් නේද ඔහොම යන්න එපා කියලා. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා වැඩ කරනවා. නමුත් මුල අමතක කරලා ජීවත් වෙන්නේ නෑ.

කැලුම් සම්මානනීය හීනත් තියාගෙනද වැඩ කරන්නේ?

දක්ෂතම නළුවා කියන තැනට එන්න මම කැමැතියි. ඒකට දේවල් ඉගෙනගෙන ඒ තැන හදාගන්න ඕනේ. නිකන් සම්මාන ගන්න නෙමෙයි ඔයාට තමයි ඒ සම්මානය ලැබෙන්න ඕනේ කියන තැන හදාගන්න මම කැමැතියි. ජනප්‍රියත්වය වුණත් එහෙමයි.

අලුත් ආරාධනාත් ලැබුණද?

ඔව්. ටෙලි නාට්‍යවලට ආරාධනා තුන හතරක්ම ලැබුණා. මම ඒවා භාරගත්තේ නෑ. මම කැමැතියි එක ගොඩේ වැඩ ගොඩක් කරලා නිහඬ වෙනවට වඩා කරන දේ හරියට කරලා ඊළඟ වැඩේ භාරගන්න. සල්ලි හම්බවෙනවා කියලා වැඩ ගොඩක් එක සැරේ භාරගත්තොත් එක නිර්මාණයකටවත් සාධාරණයක් කරන්න ලැබෙන්නේ නෑ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න