ජපන් වෙරළට අබිරහස් වස්තුවක් ඇවිල්ලා
2023 February 23- Page Views : 1187
මීටර් 1.5 ක විෂ්කම්බයක් ඇති අබිරහස් ගෝලාකාර වස්තුවක්, ජපන් වෙරළකට ගොඩගසා තිබේ. ගෝලාකාර වස්තුව ගොඩගසා ඇත්තේ හමාමාට්සු නමැති වෙරළාශිත නගරයට අයත් මුහුදු වෙරළට යැයි විදෙස් මාධ්‍ය පවසයි.
අබිරහස් ගෝලාකාර වස්තුව, මුලින්ම දකින්න ලැබී ඇත්තේ, වෙරළට පැමිණි නගර වැසියන් කීප දෙනකුටය. ඔවුන් ඒ බව නගර බලධාරීන්ය සහ පොලිසියට දැනුම් දී තිබේ. පොලිසිය සහ හමුදාව යෙදවා මුහුදු වෙරළ ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නගර බලධාරීහු ඉන්පසු කටයුතු කළහ.
එය දෙවැනි ලෝක යුද සමයේ භාවිතයට යොදා ගත් මුහුදේ රැඳවූ පුපුරා නොගිය බෝම්බයක් යැයි ද සැක කෙරුණි. කෙසේ නමුත් ඒ තුළ පුපුරන ද්‍රව්‍ය කිසිවක් නොමැති බව පැවැසිණි.
එක්ස් කිරණ පරීක්ෂණවලින් ගෝලාකාර වස්තුව ඇතුළේ ඇත්තේ මොනවාදැයි පරීක්ෂා කර බැලූ බවත් එහිදී පෙනී ගියේ ගෝලාකාර වස්තුව තුළ කිසිවක් නොමැති බවත් ජපන් මාධ්‍ය පසුව වාර්තා කළේය.
ගෝලාකාර වස්තුවේ ‘හැඩල’ දෙකක් ඇතැයි ද පැවැසෙයි. එයින් අදහස් වන්නේ එය කිසියම් දෙයකට සම්බන්ධ කළ හැකි බව පොලිසිය පසුව පැවැසුවේය.