WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවට එරෙහිව අවි ගන්න උතුරු කොරියානුවෝ ලක්ෂ අටක් හමුදාවට එක් වෙයි

2023 March 19- Page Views : 1187

එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් 800,000 ක් පමණ ස්වෙච්ඡාවෙන් එරට හමුදාවට බැඳීමට ඉදිරිපත් වූ බව උතුරු කොරියාවේ රාජ්‍ය පුවත්පත වන 'රොඩොං සින්මුන්' ඊයේ (18) වාර්තා කළා.

ඒ අනුව ගෙවුණු සිකුරාදා දිනයේ පමණක් රට පුරා සිසුන් සහ කම්කරුවන් 800,000ක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

“හමුදාවට බැඳීමට තරුණ තරුණියන් දක්වන උද්යෝගය අපගේ වටිනා සමාජවාදී රට තුරන් කිරීමට උත්සාහ දරන යුද උන්මාදිකයන් අනුකම්පා විරහිතව අතුගා දැමීමට තරුණ පරම්පරාවේ නොසැලෙන කැමැත්ත ප්‍රදර්ශනය කිරීමක්.

මෙලෙස ජාතික යලි එකමුතු කිරීමේ මහා අරමුණ නොවරදවා ම සාක්ෂාත් කර ගැනීමට ඉදිරිපත් වීම ඔවුන්ගේ උග්‍ර දේශප්‍රේමයේ පැහැදිලි ප්‍රකාශනයක්," බවයි රොඩොං සින්මුන් පුවත්පත වාර්තා කළේ.

දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා "Freedom Shield 23" නම් දින 11ක ඒකාබද්ධ අභ්‍යාස සඳුදා ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව පසුගිය බ්‍රහස්පතින්දා සිය Hwasong-17 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (ICBM) දියත් කළේ, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ උතුරු කොරියාවට එරෙහිව සටන් කිරීමේ ක්‍රම සාකච්ඡා කරන සමුළුවක් සඳහා දකුණු කොරියානු ජනාධිපතිවරයා ටෝකියෝ වෙත පියාසර කිරීමට පැය කිහිපයකට පෙර‍යි.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා යටතේ උතුරේ බැලස්ටික් මිසයිල තහනම් කර ඇති අතර, පසුගිය දා උතුරු කොරියාව කළ මිසයිල අත්හදා බැලීම සෝල්, වොෂින්ටන් සහ ටෝකියෝ ආණ්ඩුවල දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා.