මනිපූර් කාන්තා හිංසන සිද්ධිය ගැන අගවිනිසුරුගෙන් ප්‍රකාශයක්
2023 July 22- Page Views : 1187
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ මැර පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකු නිරුවතින් පාරේ ඇවිදීමට සැලැස්වීම පිළිබඳ පුවත මේ වන විට ලොව පුරා ආන්දෝලනයකට තුඩු දී ඇත.
මැයි 04 වනදා මෙම සිදුවීම වූ අතර, පසුව එහි වීඩියෝව ලෝකයේ මහත් කැලඹීමක් ඇති කළේය.
නමුත් මෙම සිදුවීමට මනිපූර් ප්‍රාන්තයේ පොලීසියේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි ලෙස විවේචන එල්ල වී ඇත.
වීඩියෝව තුළ ඇතැම් සැකකරුවන්ගේ මුහුණු පැහැදිලිව පෙනෙන්නට තිබුණද ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්ද යන්න එම විවේචනවල සඳහන්ය.
පොලීසිය විසින් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගතවූ කාලය හා සෙසු සැකකරුවන් කඩිනමින් සොයා නොගැනීම යන චෝදනා පොලීසියට එල්ල වී ඇත.
ඉන්දීය අගවිනිසුරුවරයාද මේ පිළිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අගවිනිසුරු ඩී.වයි.චන්ද්‍රවුඩ් වරක පවසා තිබුණේ, මෙම සිදුවීම මහත් කැලඹීමක් ඇතිකර ඇති බව හා රජය හා පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම්, අපි පියවර ගන්නෙමු යනුවෙනි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද වරෙක පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විවාදයක් ඉල්ලා සිටි අතර, තත්ත්වය උණුසුම් වීමෙන් පාර්ලිමේන්තු කටයුතු දින 2ක් අඩාල විය.
BBC වෙත නිර්නාමිකව අදහස් දක්වමින් ඉන්දීය රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ, දැනට සිද්ධිය පිළිබඳ පැමිණිලි 6,000ක් පමණ ලැබී ඇති බවත් විමර්ශන කටයුතු ප්‍රමාද වීමට මනිපූර් පොලීසියේ කුඩා බව හේතුවක් වී ඇති බවත්ය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද මෙම සිදුවීම පිළිබඳ අදහස් පළ කළ අතර, ඔහු පැවසුවේ, මෙම සිදුවීම ඉන්දියාව ලැජ්ජාවට පත් කළ එකක් බවය.
එසේම වරදකරුවන්ට කිසිදු ගැලවීමක් නැත යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.
මේ අතර, මනිපූර් ප්‍රධාන අමාත්‍ය බිරෙන් සිං සඳහන් කළේ, වරදකරුවනට මරණ දඬුවම ලබාදිය යුතු බවය.