WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ චීටාවන් අර්බුදයක

2023 August 05- Page Views : 862

වඳ වී ගිය බව ප්‍රකාශයට පත්කර වසර 70කට පසු ඉන්දියාවට චීටාවන් නැවත හඳුන්වා දීමේ ව්‍යාපෘතිය අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වෙයි.

පසුගිය වසරේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනයට සමගාමීව ඉන්දියානු වනාන්තර තුළ චීටාවන් නැවත බෝ කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ විය.

එහි පළමු අදියර යටතේ දකුණු අප්‍රිකාවෙන් හා නැමීබියාවෙන් චීටාවන් 20 දෙනෙකු 2023 වර්ෂයේ සැප්තැම්බර් හා පෙබරවාරි මාසවල දී මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ 'කුනෝ' ජාතික වනෝද්‍යානයට මුදා හැරිණි.

එය හෙක්ටයාර 74,200ක වපසරියකින් යුත් වනෝද්‍යානයක් වන බව වාර්තා වෙයි.

කෙසේවෙතත් පළමු අදියර යටතේ නිදහස් කෙරුණු චීටාවන්ගෙන් චීටාවන් හය දෙනෙකු දැනටමත් මියගොස් ඇති අතර, අලුත උපන් පැටවුන් තිදෙනෙකු ද මියගොස් ඇත.

නමුත් චීටාවන් පිළිබඳ විශේෂඥයන් පවසන්නේ, වැටකින් හෝ තාප්පයකින් සීමා නොවූ භූමියක චීටාවන් නැවත පදිංචි කළ පසු, ආරම්භක වර්ෂයේ දී නියමිත සත්ත්ව ප්‍රමාණයෙන් අඩක් මියයාම සිදුවිය හැකි තත්ත්වයක් බවයි.

එසේම දෙවන වසර තුළ ද තවත් මරණ සිදුවිය හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

දකුණු අප්‍රිකානු චීටා විශේෂඥයන්ගේ වාර්තාවකට අනුව හා අප්‍රිකාවේ මෙවැනි සතුන් නැවත හඳුන්වාදීමේ අත්දැකීම් මත පදනම්ව, ඉන්දියාවේ චීටාවන් 20ක ආරම්භක ජනගහනය චීටාවන් පහක් හෝ හයක් දක්වා අඩුවනු ඇති බව සඳහන් වේ.

වැඩිහිටි සත්ත්වයකු වන තෙක් ජීවත් වීමේ අපේක්ෂාව සහිත පළමු පැටවුන් 2024 දී උපත ලබනු ඇති බවට මෙම විශේෂඥයෝ විශ්වාස කරති.

කෙසේවෙතත් ව්‍යාපෘතියට සම්බන්ධ දකුණු අප්‍රිකානු සහ නැමීබියානු විශේෂඥයන් පවසන්නේ, ඉන්දියාව තුල චීටාවන් බෝ කිරීමේ ව්‍යාපෘතිය කළමනාකරණය කරන ආකාරය පිළිබඳ ගැටලුවක් ඇති බවයි.

ව්‍යාපෘතිය අධීක්‍ෂණය කරන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට යවන ලද ලිපිවල ඔවුන් සඳහන් කර ඇත්තේ, වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීම සහ වඩාත් සුදුසු සහ කාලෝචිත පශු වෛද්‍ය ප්‍රතිකාර හරහා මියගිය සතුන් ප්‍රමාණය වලක්වා ගැනීමට ඉඩ තිබූ බවය.