ඉන්දියාවේ චන්ද්‍ර යානය අද සඳට ගොඩබානවා
2023 August 23- Page Views : 741
ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 Chandrayaan-3 මෙහෙයුම යටතේ, 'වික්‍රම්' නමැති රොබෝ ගවේෂණ යානය අද (23) සවස ඉන්දියාවේ වේලාවෙන් 6.04 ට සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය.
යානය, කිසිදු ගැටලුවකින් තොරව, සඳට ගොඩබෑමට සියලු කටයුතු සූදානම් බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) ප්‍රධානී එස්. සෝමනාත් පවසා තිබේ.
මේ වනවිට සඳුගේ කක්ෂයේ ඇති වික්‍රම් යානය, සඳට ගොඩබැසීම ආරම්භ කර, පහළට යෑමට මිනිත්තු 20 ක් පමණ ගත වනු ඇතැයි ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) විද්‍යාඥයෝ පැහැදිලි කරති.
පසුගිය දින කීපය පුරා, යානය සඳ මතුපිට ඡායාරූප සහ සජීවී වීඩියෝ දසුන් පෘථිවියට ලැබෙන්න සැලැස්වීය. යානය ගොඩබෑමට සුදුසු තැනක් විද්‍යාඥයන් තෝරා ගත්තේ එම ඡායාරූප සහ වීඩියෝ දසුන් අනුවය.
චන්ද්‍රයාන් 3 වික්‍රම් යානය සඳට ගොඩබෑම සජීවීව නැරැඹීමට ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය කටයුතු සලස්වා ඇත. සජීවී විකාශය අද සවස 5.20 ට ආරම්භ වෙයි.
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 'බ්‍රික්ස්' රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය සඳට ගොඩබෑමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වීමට නියමිතය.
'චන්ද්‍රයාන් 3’ Chandrayaan-3 ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) විද්‍යාඥයන්ගේ නවමත සඳ ගවේෂණ මෙහෙයුමය.
‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය, පෘථිවියෙන් පිටත්ව සඳ බලා ගියේ පසුගිය ජූලි 14 වැනිදාය. ඉන්දියාව 'චන්ද්‍රයාන් 2’ මෙහෙයුම යටතේ ද වික්‍රම් නමැති රොබෝ යානයක් සඳට ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය සඳට කඩා වැටුණි.
පසුගිය ජූලි 14 වැනිදා ‘චන්ද්‍රයාන් 3’ පෘථිවි කක්ෂයට රැගෙන ගියේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark-III රොකට්ටුවය.