ඉන්දියාව සඳට යැවූ ‘වික්‍රම්’ ‘ප්‍රාග්යාන්’ මෙහෙයුම් අරඹයි
2023 August 24- Page Views : 741
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ.
‘වික්‍රම’ යානය තුළ රඳවනු ලැබූ ‘ප්‍රාග්යාන්’ නමැති කුඩා රෝවර් යානය, පිටතට පැමිණ සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු ආරම්භ කළේ ‘වික්‍රම’ යානය සඳට පතිත කර පැය කීපයක් යද්දීය. ‘ලෑන්ඩර්’ යානා යනු පතිත කරන ස්ථානයේ සිට ගවේෂණ කටයුතු සිදු කරන රොබෝ යානාය.
‘රෝවර්’ යානා යනු රෝද සහිත එහෙමෙහෙ යා හැකි රොබෝ යානාය. ‘වික්‍රම්’ යානය සාර්ථකව සඳට පතිත කළාක් මෙන්, ‘ප්‍රාග්යාන්’ යානය ද සාර්ථකව ‘වික්‍රම්’ යානයෙන් පිටතට පැමිණ මෙහෙයුම් ඇරැඹූ බව ඉන්දීය විද්‍යාඥයන් පැවැසුවේ මහත් ආඩම්බරයෙනි.
‘වික්‍රම්’ යානය පතිත කළේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකටය. සඳට රොබෝ යානයක් යැවූ සිවුවැනි රට වන්නේ ඉන්දියාවය. මීට පෙර සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනය සඳා මතට රොබෝ යානා යවා ඇත. එසේ වුවත්, සඳේ දක්ෂිණ ධ්‍රැවය එසේත් නැතිනම් සඳේ අඳුරු කලාපයට රොබෝ යානයක් යැවූ පළමු රට ඉන්දියාව වීම විශේෂත්වයකි.
‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානා ඇතුළු ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ඉන්දියාව වැය කළ මුදල ඉන්දිය රුපියල් කෝටි 600 කි. පසුගිය ජූලි 14 වැනිදා ඉන්දියාවේ ‘බාහුබලී’ රොකට්ටුවේ ආධාරයෙන් ‘චන්ද්‍රයාන් 3’ මවු යානය අභ්‍යවකාශයට යැවීම සිදුවිය.
‘චන්ද්‍රයාන් 3’ මවු යානය පෘථිවි කක්ෂයට පිවිස, පෘථිවිය වටේ යමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගෙන සඳුගේ කක්ෂයට පිවිසීමට දින 41 ක් ගත විය. සඳට පතිත කළ ‘වික්‍රම’ යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය, මාසයක් සහ දින 9 ක් ක්‍රියාකාරීව, අදාල මෙහෙයුම්වල නියැලෙනු ඇත. මෙහෙයුම් කාලය නිමා වූ පසු ‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානා අතහැර දැමෙනු ඇත.
සඳුගේ දක්ෂිණ ධ්‍රැවය හෙවත් අඳුරු කලාපයේ වටිනා ඛනිජ ද්‍රව්‍ය සහ මිදුණු ජලය ඇතැයි විශ්වාස කෙරේ. ඒවා ගවේෂණය, ‘වික්‍රම’ යානයේත් ‘ප්‍රාග්යාන්’ රොබෝ රෝවරයේත් අරමුණ වෙයි.