යුක්‍රේනය ඉල්ලන සාමය ගැන පුටින්ගෙන් ප්‍රකාශයක්
2023 September 13- Page Views : 10 යුක්‍රේන යුද්ධය දීර්ඝ සටනක් වනු ඇති බවත් එහි ඇතිකර ගන්නා ඕනැම සටන් විරාමයක් යුක්‍රේනය යළි බලමුළු එක්රැස් කිරීම සඳහා යොදාගනු ඇති බවත් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර ඇත.
රුසියාවේ පැසිෆික් කලාපීය වරාය නගරය, ව්ලැඩිවොස්ටොක්හි දී ආර්ථික සමුළුවකට එක්වෙමින් රුසියානු නායකයා ඊයේ (12) දීර්ඝ කතාවක නිරත වූයේ සියලු අංශ අනාවරණය කරමිනි.
එහි දී ජනාධිපති පුටින් සඳහන් කළේ, යුක්‍රේන ප්‍රතිප්‍රහාර මෙහෙයුම මෙතෙක් අසාර්ථක වී ඇති අතර, යුක්‍රේන හමුදාවට සෙබළුන් 71,000ක් පමණ අහිමි වී ඇති බවයි.
රුසියානු රූපවාහිනී නිවේදකයකු සමුළුව මෙහෙයවමින් ජනපති පුටින් වෙත යොමු කළ ප්‍රශ්නවලට ද ඔහු පිළිතුරු ලබා දුන්නේය.
එහි දී ජනපති පුටින් සඳහන් කළේ, සිය හමුදා සෙබළුන්, යුදෝපකරණ සහ උණ්ඩ සිඳී යනවිට පමණක් යුක්‍රේනය සාමය ගැන කතා කරන බවයි.
නායකත්වය බටහිර සමඟ එක්වීමට තීරණය කිරීම නිසා යුක්‍රේන ජනතාවට අද එහි ප්‍රතිවිපාක විඳීමට සිදු ව ඇති බව ද ජනපති පුටින් අවධාරණය කරයි.
යුක්‍රේන නායකත්වය සිය ජනතාව ප්‍රතිප්‍රහාර මෙහෙයුම සඳහා යොදාගන්නේ, ඔවුන් තම රටේ ජනතාව ලෙස නොසලකිමින් බව ජනපති පුටින් සඳහන් කර තිබේ.
යුක්‍රේනයට සිය ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය රුසියාවට එරෙහි ව යොදාගැනීම සඳහා ස්පේස් එක්ස් නිර්මාතෘ ඊලෝන් මස්ක් ඉඩ ලබා නොදීම ද ජනපති පුටින්ගේ ප්‍රසාදායට ලක් වී ඇත.
අමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරු රටවල් ජාත්‍යන්තර මූල්‍ය යාන්ත්‍රණයන් භූ දේශපාලනික අවශ්‍යතා සඳහා යොදාගන්නා බවට ද ජනපති පුටින් චෝදනා කරයි.
යුක්‍රේන යුද්ධය නිසා රුසියාවේ විදේශ සංචිත තහනම් කිරීමට බටහිර රටවල් ගනු ලැබූ පියවර හේතුවෙන් ගෝලීය මූල්‍ය පද්ධතිය කෙරෙහි ලෝකවාසීන්ගේ විශ්වාසය බිඳවැටී ඇති බව ජනපති පුටින් ප්‍රකාශ කර ඇත.
එවැනි පියවර තුළින් බටහිර රටවල් නොදැනුම්වත්වම තමන්ගේ පාදයට වෙඩි තබාගෙන ඇති බව ජනපති පුටින් කියා සිටියි.
රුසියානු රූබලයේ විචල්‍යතාව සීමා කිරීමටත් උද්ධමනය පාලනය කිරීමටත් රුසියානු මහ බැංකුව සමත් වී ඇති බව ජනපති පුටින් ප්‍රකාශ කරයි.
කෙසේ නමුත් වර්තමාන වාතාවරණය හමුවේ ණය නිකුතු සීමා කිරීමට සිදු ව ඇති අතර, එය ආර්ථිකය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන බව ද ජනපති පුටින් පිළිගෙන ඇත.
එහෙත් නුදුරේදීම මූල්‍ය ස්ථාවරයක් එළැඹෙනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කරයි.
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලන ප්‍රතිවාදියෙකු වෙතින් දේශපාලන පළිගැනීමකට ලක් ව ඇති බවත් අමෙරිකානු දේශපාලනයේ පිළුණු බව එයින් පිළිබිඹු වන බවත් ජනාධිපති පුටින් සඳහන් කර තිබේ.
ලබන වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයෙන් කවරකු ජයගත්තත් රුසියාව කෙරෙහි අමෙරිකානු ප්‍රතිපත්තියේ විශාල වෙනසක් අපේක්ෂා කළ නොහැකි බවය ජනපති පුටින්ගේ අදහසයි.
ප්‍රතිඵලය කුමක් වුවත් අමෙරිකාව තවදුරටත් රුසියාව සතුරකු ලෙස සලකා කටයුතු කරනු ඇති බව ඔහු සඳහන් කරයි.
රුසියානු ආර්ථිකය බිඳ හෙලීමට බටහිර රටවල් දරන ප්‍රයත්නය හමුවේ රුසියාව ආසියාකරය සමඟ සිදු කරෙන ගනුදෙනු ඉහළ ගොස් ඇති බව ජනපති පුටින් අවධාරණය කරයි.
මෙම සමුළුවෙන් අනතුරුව රුසියානු ඈත පෙරදිග අමූර් කලාපයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ජනපති පුටින්, උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමු වී තිබේ.
උතුරු කොරියානු නායකයා ඉතා සුහද අන්දමින් පිළිගත් ජනපති පුටින්, උතුරු කොරියාවේ චන්ද්‍රිකා තාක්ෂණ සංවර්ධනයට රුසියානු සහාය හිමි වන බව ප්‍රකාශ කර ඇත.
එහි දී උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසා ඇත්තේ, බටහිරට එරෙහි ව රුසියානු ශුද්ධ යුද්ධයට සිය පූර්ණ සහාය ලබා දෙන බවයි.
උතුරු කොරියානු නායකයාගේ රුසියානු සංචාරය පිළිබඳ අමෙරිකාවේ විශේෂ අවධානයක් යොමු වන්නේ, උතුරු කොරියාව විසින් යුක්‍රේන යුද්ධයට යොදා ගැනීම සඳහා රුසියාවට යුද අවි සපයනු ඇතැයි සැකයෙනි.
රුසියාවට උතුරු කොරියාවෙන් ආයුධ සහ උණ්ඩ ලබා ගැනීම පිළිබඳ නායකයන් දෙදෙනා සාකච්ඡා කරන්නේ දැයි සාකච්ඡාවට පෙර ජනපති පුටින්ගෙන් විමසූවිට ඔහු පවසා ඇත්තේ, සියලු අංශ ආවරණය වන පරිදි උතුරු කොරියානු නායකයා සමඟ සාකච්ඡා කරන බවයි.
මේ අතර, ක්‍රිමියානු අර්ධද්වීපයේ සෙවස්ටපොල් වරාය තටාකාංගණයට යුක්‍රේන මිසයිල සහ මුහුදු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
යුක්‍රේන කෘෘස් මිසයිල 10ක් සහ අධිවේගී යාත්‍රා ප්‍රහාර 03ක් මෙලෙස දියත් වූ බවත් මිසයිල 07ක් බිම හෙලූ බවත් රුසියාව ප්‍රකාශ කරයි.
කෙසේ නමුත් ප්‍රහාරයෙන් ගිනිගැනීමක් ඇති වී තිබෙන අතර, තටාකාංගණය අලුත්වැඩියා කරමින් තිබූ නෞකා දෙකකට අලාභහානි සිදු ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.