WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

න්‍යෂ්ටික යුද්ධයක් ගැන කතාබහක්

2023 October 05- Page Views : 10

නේටෝ සංවිධානය යුරෝපයේ උපක්‍රමීය න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් විය යුතු බව එහි නිල වෙබ් අඩවියේ පළ කොට ඇති විශ්ලේෂණාත්මක වාර්තාවක් මගින් අවධාරණය කර තිබේ.

එම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ අමෙරිකාවේ පෙන්ටගනයේ න්‍යෂ්ටික හා මිසයිල පද්ධති පිළිබඳ හිටපු උපදේශකයෙකු වන ග්‍රෙගරි වීවර් විසිනි.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ යුරෝපය, රුසියාවට එරෙහිව දියත් කරන සීමිත න්‍යෂ්ටික යුද්ධයකින් ජයග්‍රහණය කළ යුතු බවයි.

තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් පැනනැගිය හැකි බව ද මෙම ලේඛකයා උපකල්පනය කරයි.

එවැනි වාතාවරණයකදී යුරෝපය සහ රුසියාව අතර මහා පරිමාණ යුද්ධයක් ඇති විය හැකි බවත් ග්‍රෙගරි වීවර් පෙන්වා දෙයි.

ඔහු ඉදිරිපත් කරන තර්කයක් වන්නේ රුසියාව සටන් බිමේ පරාජයක් වළක්වාගැනීමට හෝ සාම්ප්‍රදායික යුද ජයග්‍රහණයක් උදෙසා උපක්‍රමීය න්‍යෂ්ටික අවි භාවිත කළ හැකි බවයි.

එවැනි තත්ත්වයකදී පාලනය කළ නොහැකි අන්දමින් අමෙරිකානු - රුසියානු මහා පරිමාණ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවේ යැයි සැකයෙන් බටහිර රටවල් න්‍යෂ්ටික අවි ප්‍රතිප්‍රහාරයක් එල්ල නොකරනු ඇතැයි රුසියානු හමුදා නායකත්වය සිතනු ඇතැයි හිටපු පෙන්ටග උපදේශකයා පෙන්වා දෙයි.

මේ නිසා එවැනි න්‍යෂ්ටික යුද්ධයකට බියවීම වෙනුවට ඊට සුදානම් වීම වැදගත් වන බව ග්‍රෙගරි පීටර් සඳහන් කළේය.

ඒ සඳහා රුසියානු උපක්‍රමීය න්‍යෂ්ටික ප්‍රහාරයන්ට මුහුණදීමට සරිලන ආකාරයෙන් සිය ප්‍රහාරක යානා සහ සබ්මැරීන උපක්‍රමීය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ කළ යුතු බව ඔහුගේ අදහසකි.

එමගින් රුසියානු න්‍යෂ්ටික ප්‍රහාරයකට නේටෝ සංවිධානය සුදානම් බව රුසියානු නායකත්වයට සංනිවේදනය කළ හැකි බව ග්‍රෙගරි වීවර් පෙන්වා දෙයි.

රුසියාවේ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය වන්නේ තම රටේ භූමියට හෝ යටිතල පහසුකම්වලට මුලින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුවහොත් හෝ රුසියානු රාජ්‍යයේ පැවැත්මට තර්ජනයක් වන න්‍යෂ්ටික හෝ සාම්ප්‍රදායික යුද අවි ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවක ඊට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමයි.

එම ස්ථාවරය 2010 වසරේ සිට වෙනස් වී නොමැති අතර උපක්‍රමීය න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ද පවතින්නේ එවැනි ස්ථාවරයකි.

මෙහිදී උපක්‍රමීය න්‍යෂ්ටික අවි ලෙස හඳුන්වන්නේ, හිරෝෂිමා හෝ නාගසාකි නගරවලට එල්ල වූ ආකාරයේ මහා විනාශයක් සිදුකළ හැකි න්‍යෂ්ටික අවිවලට වසා බලයෙන් අඩු න්‍යෂ්ටික අවිවලටයි.

රුසියාවට මෙලෙස න්‍යෂ්ටික අවිභාවිත කළ හැකි අවස්ථා පිළිබඳ ප්‍රතිපත්තියක් ඇතත් තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් පැන නැඟුණු අවස්ථාවක රුසියාව යුක්‍රේනයේ නේටෝ රටවලට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකි බව ග්‍රෙගරි වීවර් සඳහන් කරයි.

මෙහිදී අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් පැන නැගීමේ අවස්ථාවක් පවතින බව ග්‍රෙගරි වීවර් සඳහන් කරන්නේ වැඩිදුර පැහැදිලිකිරීමකින් තොරවයි.

ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා නේටෝ සංවිධානය නිවැරදි ඉලක්කගත න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවන්ගෙන් සන්නද්ධ විය යුතු බවට පෙන්ටගනයේ හිටපු උපදේශකයා නිර්දේශ කරයි.

එහිදී බෝල්ටික් රටවල සහ නැගෙනහිර යුරෝපයේ නේටෝ සාමාජික රටවල ද නවීන න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ ඒකක ස්ථාපිත කළ යුතු බවත්, අමෙරිකාව එම රටවලට උපක්‍රමීය න්‍යෂ්ටික අවි සැපයිය යුතු බවත් ග්‍රෙගරි වීවර් නිර්දේශ කර තිබුණි.

උතුරු කොරියාවේ සූදානම

උතුරු කොරියාව සිය ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සංකීර්ණයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක (Reactor) බලශක්ති උත්පාදනය නතරකොට ඇති බවත්, එය බොහෝවිට එහි න්‍යෂ්ටික ඉන්ධන න්‍යෂ්ටික අවි සඳහා යොදාගැනීමේ උත්සාහයක් විය හැකි බවත් දකුණු කොරියානු ප්‍රවෘත්ති සේවාවක් අනාවරණය කර තිබුණි.

න්‍යෂ්ටික අවි සඳහා සියුම්ව නිස්සාරණය කරගත් ප්ලුටෝනියම් න්‍යෂ්ටික ඉන්ධන අවශ්‍ය වන අතර උතුරු කොරියාව යොන්බියොන් න්‍යෂ්ටික බලාගාර සංකීර්ණයේ මෙගවොට් 05ක ප්‍රතික්‍රියාකාරකයක් මෙලෙස වසා දමා ඇති බව වාර්තා විය.

උතුරු කොරියාව එම පියවර ගෙන ඇත්තේ න්‍යෂ්ටික බෝම්බ සඳහා ඉහළ මට්ටමේ ප්ලුටෝනියම් නිස්සාරණය කිරීමට බව දකුණු කොරියාවේ මෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ද අදහස වී ඇත.

න්‍යෂ්ටික අවි සඳහා යොදාගත හැකි ආකාරයෙන් යුරේනියම් විකිරණශීලි මූලද්‍රව්‍ය නිස්සාරණය කිරීමේ පහසුකමක් ද උතුරු කොරියාව සතු වෙයි.

දකුණු කොරියානු රජයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ උතුරු කොරියාව ඇතැම් විට න්‍යෂ්ටික අත්හදාබැලීමකට සුදානම් වන බවට අනුමාන කළ හැකිය.

කෙසේ නමුත් දකුණු කොරියානු සහ අමෙරිකානු බුද්ධි අංශ මීට අදාළ වර්ධනයක් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කරයි.

මේ අතර අමෙරිකානු න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වන සියෙග්ෆ්‍රයිඩ් සඳහන් කළේ පසුගියදා රුසියාවේ සංචාරයක නිරත වූ උතුරු කොරියානු නායකයා සාර්ථක ලෙස න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා රුසියානු සහාය ඉල්ලා සිටින්නට ඇත ිබවයි.

උතුරු කොරියාව සතුව විකිරණශීලි ප්ලුටෝනියම් කිලෝග්‍රෑම් 70ක පමණ තොගයක් පවතින බවත් එය න්‍යෂ්ටික අවි 20ක් නිපදවීම සඳහා ප්‍රමාණවත් බවත් ආරක්ෂක විශ්ලේෂකයන් අනුමාන කරයි.

රුසියාවේ සහ අමෙරිකාවේ සූදානම

මේ අතර රුසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය රටපුරා ජනතාව උදෙසා යුධ අවදානම් අනතුරු ඇඟවීමේ පද්ධති පරීක්ෂාවක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

සයිරන් නලා හඬවමින්, ඇතැම් රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන අතරතුර ජනතාවට සන්සුන්ව සිටින්නැයි දන්වමින් ඊයේ (04) මෙම පරීක්ෂාව සිදුකළ බව මොස්කව් නුවරින් වාර්තා විය.

2020 වසරේදී රුසියාව ප්‍රථම වරට මෙවැනි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති අත්හදා බැලීමක් සිදුකළ අතර නව ක්‍රමවේදයට අනුව වසරකට දෙවරක් එය සිදුකිරීමට නියමිතය.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය ද ඊයේ දිනයේ සිය මහජන අනතුරු ඇඟවීමේ පද්ධති අත්හදා බැලීමක් සිදුකළ අතර ඒ සඳහා ජංගම දුරකථන සේවා, රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශයන් යොදාගත් බව වාර්තා විය.

ජාතික මට්ටමේ හදිසි අවස්ථාවන්හිදී ජනතාව අවධානයෙන් තැබීම එහි අරමුණ බව අමෙරිකානු මධ්‍යම රජයේ හදිසි අවස්ථා කළමනාකරණ ආයතනය සඳහන් කළේය.