WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ සන්නද්ධ රථ ඊශ්‍රායලය වෙත ළඟා වෙයි

2023 October 20- Page Views : 10

දින 14ක් පුරා ක්‍රියාත්මක ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් හමුවේ ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

යුද ගැටුම් හේතුවෙන් පලස්තීන වැසියන් 3,700කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ගාසා තීරයේ, ග්‍රීක ඔර්තඩොක්ස් පල්ලියක් පිහිටි භූමියකට එල්ලවූ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් පිරිසක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී එහි අවතැන් පලස්තීන වැසියන් 500 ක් පමණ රැඳී සිට ඇති බවය.

එමෙන්ම මෙම පල්ලිය ලොව පැරණිතම පල්ලි අතරින් එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, මීට පෙරත් ඊශ්‍රායල ප්‍රහාරවලින් දැඩි හානි සිදුවූ දකුණු දිග ගාසා තීරයේ කාන් යුනිස් නගරයට නැවතත් ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර එල්ලවී තිබේ.

ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරවලින් කාන් යුනිස් නගරයේ නිවාස රැසක් විනාශ වී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පිරිස් මුදා ගැනීමට සිවිල් වැසියන් කටයුතු කර තිබුණි.

මේ අතර, ඊයේ ඊශ්‍රායලයේ සංචාරයක නිරතවූ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් ඊශ්‍රායලයට සහාය දක්වන බව අවධාරණය කළේය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණි.

හමාස් සටන්කාමීන් සහ රුසියාව එකිනෙක සැසඳු ජනාධිපති බයිඩන් එහිදී අවධාරණය කළේ, යුක්‍රේනයට සහ ඊශ්‍රායලයට යුද ආධාර සැපයීමට කටයුතු කරන බවය.

මේ අතර, අමෙරිකානු සන්නද්ධ රථ ඊශ්‍රායලය වෙත ළඟාවී තිබේ.

මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මත යුද ගැටුම් අතරතුර, ඉරාකයේ සහ සිරියාවේ ස්ථානගත අමෙරිකානු හමුදා ඉලක්ක කර ගෙවුණු දින කිහිපයේදී ප්‍රහාර එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, විදෙස් රටවල සිටින සිය පුරවැසියන් සඳහා අමෙරිකාව අනතුරු ඇඟවීම් නිකුත් කළේ එවන් පසුබිමකය.

මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් යුරෝපා රටවල් කිහිපයක ආරක්ෂාව තර කර තිබේ.

ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම, ප්‍රංශය ඇතුළු රටවල් රැසක ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා දේශ සීමාවේ රැඳීසිටින හමුදා සොල්දාදුවන් හමුවිය.

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් ගාසා තීරය අසල ඊශ්‍රායලයේ මාව්කිම් නගරයේ සිටින ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් හමුවී ඇත.

ඒ ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමේ සුදානමින් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.