WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උතුරු ගාසාහි රෝහලක් හිස්කරන්නැයි ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

2023 October 30- Page Views : 10

දින 24ක් පුරා ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය 8,000 ඉක්මවූ පිරිසෙන් 3,195 දෙනෙකුම ළමයින් බව SAVE THE CHILDREN රාජ්‍ය නොවන සංවිධානය අනාවරණ කර තිබේ.

ඔවුන්ට අනුව එය 2019 වසරේ සිට ඇති වූ යුද ගැටුම්වලදී වාර්ෂිකව මියගිය ළමයින් ගණනද ඉක්මවා යන අගයකි.

ඊට අමතරව ගාසාහි තවත් ළමයින් 1,000ක් පමණ අතුරුදන් බවට වාර්තාවන අතර ඔවුන්ගේ සිරුරු කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී ඇති බවට සැලකේ.

ජාත්‍යන්තර විරෝධය නොතකමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර තවත් තීව්‍ර කර ඇත්තේ භූමියෙන්ද ඒ වෙත හමුදා යොමුකරමිනි.

ඒ අනුව පසුගිය සිකුරාදා සිට ගාසා තුළ ඊශ්‍රායල මෙහෙයුම් සිදුවන්නේ යුද්ධ ටැංකිද යොදාගනිමිනි.

කලාපය වෙත තවත් හමුදා යොමුකරන බව ඊශ්‍රායල හමුදා ඊයේ (29) තහවුරු කළේය.

ගොඩබිම් ප්‍රහාරවලට සමගාමීව උතුරු ගාසාහි සිටින ජනතාව ඉවත්ව යන්නැයි යළිත් ඊශ්‍රායලය අවධාරණය කළේ ඊයේ දිනයේදීය.

ඒ අනුව උතුරු ගාසාහි අල් කුඩ්සු රෝහල හිස් කරන ලෙස දැනුම් දී තිබුණේ එසේ නොකළහොත් ඊට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමිනි.

කෙසේ නමුත් රෝගීන් රැසක් ප්‍රතිකාර ලබන දැඩි සත්කාර ඒකකය සහ ළඳරු ඒකකය ඉවත්කිරීම අතිශය අසීරු කාර්යක් වනු ඇති බව පලස්තීන රතු අඬසඳ ව්‍යාපාරය පෙන්වා දෙයි.



එමෙන්ම එම භූමියේ රැකවරණය ලබන සිවිල් වැසියන් ගණන 14,000කි.

මෙවන් පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් ඊශ්‍රායලයට ආයාචනා කර සිටින්නේ සටන් විරාමයක් සඳහා යොමුවන ලෙසය.

මේ අතර ගාසා හි ආධාර ගබඩාවකට කඩා වැදී එහි තිබූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කොල්ලකෑමට ගාසා වැසියන් ඊයේ කටයුතු කළේය.

ආධාර රැගත් තවත් රථ 33ක් රෆා පිවිසුම ඔස්සේ ගාසා තීරයට ඇතුළු වුණේ එවන් පසුබිමකය.

මේ අතර ටෙල් අවීව් කරා පියාසර කිරීමට නියමිතව පැවති ගුවන්යානයකට ඇතුළු වී එහි සිටි යුදෙව්වන්ට පහරදීමට උත්සහ කිරීමේ සිද්ධියක් රුසියාවේ මකචකාලා ගුවන්තොටුපොළෙන් වාර්තා වේ.

පලස්තීන ධජ රැගෙන පැමිණි පිරිසක් අදාළ යානය වටකර ඊට ඇතුළුවීමට උත්සහ කර තිබුණි.

කෙසේ නමුත් රුසියානු ආරක්ෂක අංශ මැදිහත්ව සිදුවීම පාලනය කර ඇති අතර එහි ගුවන් ගමන් කටයුතු ලබන නොවැම්බර් 6වැනිදා දක්වා අත්හිටුවා තිබේ.