හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්
2023 November 03- Page Views : 10
පලස්තීන හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම සඳහා ගාසා තීරයේ ගොඩබිම් හමුදා මෙහෙයුමක් දියත් කළ ඊශ්‍රායල හමුදාව, දැන් එහි විශාලතම නගරය වන 'ගාසා සිටි' වටලා තිබේ.
2005 වසරෙන් පසු ගාසා තීරයේ වැඩිම දුරකට ඊශ්‍රායල ගොඩබිම් හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි ප්‍රකාශ කළේ, තම හමුදා මඟින් වටලා ඇති ගාසා නගරය හමාස් ත්‍රස්ත සංවිධානයේ කේන්ද්‍රස්ථානය බවයි.
හමාස් සංවිධානය සටනට හොඳින් සූදානම් ව සිටින බවත් ඊශ්‍රායල හමුදාවන්ට බිම් බෝම්බ සහ මර උගුල්වලින් බේරී මෙහෙයුම් කිරීමට සිදු ව ඇති බවත් තවත් ඊශ්‍රායල හමුදා ප්‍රධානියෙකු සඳහන් කර ඇත.
ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ පසු සටන්වල දී මිය ගිය ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාව ද 23 දක්වා ඉහළ ගොස් තිබේ.
හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු උබයිඩා ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශ කරන සංඛ්‍යාවට වඩා වැඩි සෙබළුන් සංඛ්‍යාවක් ඔවුන්ට අහිමි වී ඇති බවයි.
ඊශ්‍රායල සෙබළුන් ගේ සිරුරු කළු පොලිතින් උරවලින් නැවත ඊශ්‍රායලයට යනු ඇති බවටත් ඔහු අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
හමාස් සංවිධානයේ සහ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ සන්නද්ධ සාමාජිකයන් ඔවුන් සැඟ වී සිටින භූගත උමං මාර්ගවලින් පිටතට පැමිණි ඊශ්‍රායල යුද ටැංකිවලට ප්‍රහාර එල්ල කොට නැවත උමං මාර්ගවලට ඇතුළු වී අතුරුදන් වී ඇති බවත් වාර්තා වේ.
එවැනි සිද්ධීන් තහවුරු කරන වීඩියෝ දර්ශන ද ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලැබී තිබේ.
මේ අතර, ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් හගාරි ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය යුද වදින්නේ හමාස් සංවිධානය සමඟ මිස, පලස්තීන සිවිල් වැසියන් සමඟ තමන්ට යුද්ධයක් නොමැති බවයි.
කෙසේ නමුත් දැන් සිව් වැනි සතියේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ගොඩබිම් සහ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන මරණ සංඛ්‍යාව 9,000 ඉක්මවා තිබේ.
තුවාල ලැබූ සංඛ්‍යාව 32,000කට අධික බව සඳහන්ය.
මේ අතර, ගාසා තීරයේ රෝහල් 36 අතුරින් 14ක කටයුතු මුළුමනින් අකර්මණ්‍ය වී තිබෙන බව වාර්තා වේ.
ඒ, තවත් රෝහල් 23ක රෝගීන්ට ඉන් ඉවත් වන ලෙසට ඊශ්‍රායලය නිවේදනය කර ඇති පසුබිමකයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ගාසාහි රෝහල්වල තත්ත්වය පැහැදිලි කිරීමට තරම් වචන නොමැති බවයි.
යුදමය තත්ත්වයත් සමඟ ගාසා තීරයේ උද්ගත වූ මෙම සෞඛ්‍ය අර්බුදයෙන් එරට වාසය කරන ලක්ෂ තුන ඉක්මවූ බෝ නොවන රෝගීන්ට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි.
මේ අතර, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ගේ, විශේෂයෙන් ළමයින් ගේ මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාමත් සමඟ ඊශ්‍රායලයට ලොව පුරා එල්ල වන විරෝධය උත්සන්න වී තිබේ.
එහි දී ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් එල්ල වන පීඩනය හමුවේ ගාසා තීරයේ කිසියම් සටන් නැවතීමක් ක්‍රියාත්මක කළ යුතු බව අමෙරිකාවේ ද අදහස වී ඇත.
එම පණිවිඩය රැගෙන අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අද නැවතත් ඊශ්‍රායලයට පැමිණියේය.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස ඊශ්‍රායලයට පැමිණියේ මේ මාසය තුළ දෙවැනි වතාවටයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ අනෙකුත් ඊශ්‍රායල නායකයන් සමඟ පවත්වන සාකච්ඡාවල දී ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදු වන හානිය අවම කිරීමට පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටිනු ඇති බව සඳහන්ය.
කෙසේ නමුත් ඊශ්‍රායලය ආත්මාරක්ෂාව උදෙසා කරන සටන් නැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ගාසා තීරය තුළ තාවකාලික කෙටි කාලීන සටන් නැවැත්වීමක් මෙමඟින් අදහස් කරන බවත් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායල ප්‍රහාරවලින් බිඳ වැටුණු ගාසා තීරයේ ගොඩනැගිලි සුන්බුන් අතරින් පලස්තීන ළමයින් ගේ මළ සිරුරු ඉවත් කරගැනීම හද කම්පා කරන බවත් ඊට ප්‍රතිචාර දැක්වීම තම වගකීමක් බවත් ඊශ්‍රායලය බලා නික්මීමට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර, එක්සත් ජාතීන් ගේ සංවිධානයේ විශේෂඥයන් කණ්ඩායමක් ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස අදාළ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීමක් කර තිබේ.
ගාසා තීරයේ පලස්තීන ජනතාව දැවැන්ත ජන සංහාරයකට ලක්වීම වැළැක්වීම සඳහා කාලය ඉකුත් වෙමින් පවතින බව ඔවුහූ පෙන්වා දෙති.
ආහාර, ජලය, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් කපා හැර ඇති ගාසා තීරයේ පලස්තීනුවන්ට අත්‍යවශ්‍ය ආධාර ලබාදීම සඳහා මානුෂීය සටන් විරාමයක් අනිවාර්‍ය බව ඔවුහූ වැඩිදුරටත් සඳහන් කරති.
එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මෙම විශේෂඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ පලස්තීනුවන්ට මූලික දේ පවා හිමි නොවන බවයි.
ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින එක් ජගත් සංවිධාන විශේෂඥයෙකු සඳහන් කළේ, ඊශ්‍රායලයේ දැවැන්ත බෝම්බ ප්‍රහාර ගාසා තීරයේ මිලියන 02කට වැඩි ජනතාවට බලපා ඇති බවයි.
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් නිලධාරියෙකු පසුගියදා ඉල්ලා අස් වූයේ, ඉදිරියේ ජන සංහාරයක් ක්‍රියාත්මක වෙමින් පැවතුණත් තමන් සේවය කරන සංවිධානයට එය වැළැක්වීමේ බලයක් නොමැති බව පවසමිනි.
මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මෙවර ජෝර්දානයට පැමිණෙන අවස්ථාවේ ගාසා තීරයේ වහා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ජෝර්දාන විදේශ අමාත්‍ය අයිමාන් සෆාඩ් ප්‍රකාශ කර ඇත.
1948 වසරේ ඊශ්‍රායල දේශය බිහිකිරීමේ දී උන්හිටි තැන් අහිමි වූ දහස් සංඛ්‍යාත පලස්තීනුවන් සහ ඔවුන් ගෙන් පැවත එන්නන් රැකවරණය ලබන ජෝර්දානය, ඊශ්‍රායල - හමාස් යුද්ධය දීර්ඝ යුද්ධයක් කරා යොමු වනු ඇති බවට බිය පළ කරයි.
එහි දී පලස්තීන බටහිර ඉවුරේ පලස්තීනුවන් ඊට දේශසීමා වූ ජෝර්දානයට විශාල වශයෙන් පලවා හැරීමේ අවදානමක් පැවතීම ඊට හේතුවයි.
මේ අතර, ගාසා තීරයේ රෆා පිවිසුම හරහා අද තුන් වැනි දිනටත් විදේශිකයන් සහ තුවාල ලැබූ පලස්තීනුවන් ඉවත් කර ගැනීම සිදු වේ.
පසුගිය දින දෙක තුළ එලෙස රෆා පිවිසුම හරහා ඊජිප්තුවට විදේශිකයන් 700ක් පමණ ඉවත් කරගැනිණි.
ඊට ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු ද ඇතුළත්ය.
මේ අතර, දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයක් උතුරු ඊශ්‍රායලයට පතිත වී ඇති අතර, ඉන් ඊශ්‍රායල වැසියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් හිස්බුල්ලා රොකට් වෙඩි ප්‍රහාරවලට ඊශ්‍රායලය අඛණ්ඩ ව ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබිණි.