ඊශ්‍රායල - ගාසා ගැටුමේ දේශපාලන විසඳුමක් ගැන පුටින් ගෙන් ප්‍රකාශයක්
2023 November 22- Page Views : 10
ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් එවැනි විසඳුමක් කරා ළඟා වීම සඳහා කලාපයේ රටවලට සහ බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවලට එක් විය හැකි බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඊශ්‍රායල - හමාස් ගැටුම් සහ ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රික්ස් සාමාජික රටවල් වර්චුවල් (VIRTUAL) නැත්නම් මාර්ගගත සමුළුවක් පැවැත්වු අතර, ඊට එක් වූ රුසියානු ජනාධිපති පුටින් මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් චෝදනා කළේ, අමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරටයි.
මැදපෙරදිග කලාපය පිළිබඳ අමෙරිකානු ප්‍රතිපත්තියේ අසමත්කම වර්තමාන අර්බුදයට මුල් වී ඇති බව ජනපති පුටින් සඳහන් කළේය.
මැදපෙරදිග වාතාවරණය සමනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඒකාබද්ධ ප්‍රයන්තයක් දැරිය යුතු බවත් එමගින් ස්ථිර සටන් විරාමයක් මෙන්ම දේශපාලන විසඳුමක් කරා ළඟා විය හැකි බවත් ඔහු අවධාරණය කර ඇත.
කෙසේ නමුත් එවැනි ප්‍රයත්නයක් සම්බන්ධීකරණය කරන ආකාරය ජනපති පුටින් පැහැදිලි කර නැත.
බ්‍රික්ස් කණ්ඩායමට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළත් වේ.
එමෙන්ම බ්‍රික්ස් සාමාජිකත්වය සෞදි අරාබිය, ඉරානය, ඉතියෝපියාව, ඊජිප්තුව, ආර්ජන්ටිනාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ද පිරිනැමීමට පසුගිය අගෝස්තු මාසයේ දී තීරණය කෙරිණි.
බටහිර දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ, ජනපති පුටින්, ගාසා අර්බුදය, සංවර්ධනය වෙමින් පවතින රටවල් සිය කඳවුරට එක් කරගැනීමේ භූ දේශපාලනික ක්‍රමෝපායක් ලෙස යොදාගැනීමට උත්සාහ කරන බවයි.
එමගින් අමෙරිකානු ආධිපත්‍යයට එරෙහි නව ගෝලීය විධානයක් ගොඩනැගීම රුසියානු ජනාධිපතිවරයා ගේ අරමුණ බව ඔවුන් ගේ මතයයි.
ගාසා තීරය සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ ප්‍රකාශවල දී රුසියානු ජනාධිපති පුටින් අමෙරිකානු ප්‍රතිපත්ති දිගින් දිගටම විවේචනය කළ අතර, පලස්තීනුවන් සම්බන්ධයෙන් සානුකම්පිත වන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් ද කළේය.
ඊශ්‍රායලය සහ පලස්තීනය යන ස්වෛරී රාජ්‍ය දෙකක පැවැත්ම සහතික කරන සාමකාමී සහජීවනයක් උදෙසා වූ ජගත් සංවිධාන තීරණ කඩාකප්පල් කිරීම නිසා පලස්තීනුවන් පරම්පරා ගණනාවකට යුක්තිය ඉටු වී නොමැති බවත් ඊශ්‍රායලයට තම රටේ පූර්ණ ආරක්ෂාව තහවුරු කරගැනීමට නොහැකි වී ඇත්තේ ඒ නිසා බවත් ජනපති පුටින් පෙන්වා දෙයි.
මේ අතර, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඇතිකරගත් මානුෂීය සටන් නැවැත්වීමේ එකඟතාව පිළිගන්නා බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධය අවසන් කරන ලෙස බ්‍රික්ස් සංවිධානයේ අනෙකුත් රටවල් සමඟ එක් ව රුසියාව ඉල්ලා සිටින බව රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා ෂකරෝවා සඳහන් කළේය.