සිවිල් වැසියන් මියයාම පිළිබඳ අමෙරිකාව නොසතුටින්
2023 December 08- Page Views : 10
හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම සඳහා ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයට මාස දෙකක් තිස්සේ එල්ල කරන දැවැන්ත ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දහස් ගණනින් මියයාම පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය සිය නොසතුට පළ කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මෙහිදී විශේෂයෙන් සඳහන් කළේ සතියක් තිස්සේ දකුණු දිග ගාසා තීරයේ සිදුකරන මෙහෙයුම පිළිබඳවයි.
ගාසා තීරයේ උතුරු කොටසේ සිදුකළ මෙහෙයුමෙන් පසු දකුණු ගාසාවට ඇතුළු වීමට පෙර අමෙරිකාව ඊශ්‍රායලයට උපදෙස් දුන්නේ උතුරේ සිදුවූ මිනිස් ජීවිත හානිය එහිදී සිදු නොවිය යුතු බවටයි.
ඇත්තෙන්ම ඒ සඳහා ඊශ්‍රායලය තහවුරුවක් ලබාදුන්නත් එය සැබෑ ලෙස ක්‍රියාත්මක නොවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් සමග වොෂින්ටන් නුවර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ පිළිබද අදහස් පළ කළේය.
දකුණු ගාසා මෙහෙයුමේදී සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ඊශ්‍රායල ප්‍රකාශ කළත් ඔවුන්ට ඒ සඳහා ඇති අභිලාෂය සහ සැබෑ ප්‍රතිඵල අතර විශාල පරතරයක් පවතින බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දී තිබේ.
ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ජෝර්දානයේ අබ්දුල්ලා රජු සමග ඊයේ (07) දුරකථන සංවාදවලද නිරත වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ධවල මන්දිරය පසුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ජනපති බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වෙත යළි පෙන්වා දුන් බවයි.
එහිදී සිවිල් වැසියන් හමාස් සන්නද්ධ කණ්ඩායම්වලින් වෙන්කොට ඔවුන්ට ආරක්ෂිත ස්ථාන වෙත යාම සඳහා ප්‍රවේශයක් සකස් කළ යුතු බවත් ජනපති බයිඩ්න් ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 17,170ක් අද දින වන විට ජීවිතක්ෂයට පත්වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 46,000කට අධිකයි.
පසුගිය ඔක්තෝබර් 20 වැනිදා ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ වූ පසු මේ දක්වා සිය සෙබළුන් 92ක් ජීවිතක්ෂයට පත් වී ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි.
ගාසා තීරයේ දකුණු කොටසේ විශාලතම නගරය වන ඛාන් යුනිස් කේන්ද්‍ර කොටගෙන ඊශ්‍රායල හමුදා මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වේ.
ඊයේ දිනයේදී පමණක් එහි ජීවිත හානි 350ක් පමණ වාර්තා වූ බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊශ්‍රායලය පවසන්නේ ඛාන් යුනිස් නගරයේදී හමාස් සටන්කාමීන් කිහිප දෙනෙකුම සිය ප්‍රහාරවලින් මියගිය අතර, උමං මාර්ගයකින් මතු වූ හමාස් සන්නද්ධ සාමාජිකයන් දෙදෙනෙකුද ඊට අයත්වන බවයි.
මේ අතර ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අද සාකච්ඡාවට ගැනීමට නියමිතයි.
එම යෝජනාව ඉදිරිපත් කෙරුණේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තිය අනුව තමාට පැවරී ඇති බලතල අනුව ජගත් ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරේස් ආරක්ෂක මණ්ඩලයේ කළ ඉල්ලීමෙන් අනතුරුවයි.
එහිදී මහලේකම්වරයා ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් වහා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර ඇත.
ඒ අනුව එක්සත් අරාබි එමීරය ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අද ඡන්ද විමසීමකට ද ලක් වීමට නියමිතයි.
ඊශ්‍රායලය මෙන්ම එරට ප්‍රධාන ආරක්ෂක සැකකරු වන අමෙරිකා එක්සත් ජනපදය, සටන් විරාමයක් සඳහා ඉදිරිපත්වන යෝජනා ප්‍රතික්ෂේප කරන්නේ එමගින් ප්‍රතිඵල අත්වන්නේ හමාස් සංවිධානයට පමණක් බව පවසමිනි.
කෙසේ නමුත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අද වොෂින්ටන් නුවරදී ඊජිප්තුව ඇතුළු අරාබි රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
අදාළ යෝජනාව මගින් පලස්තීන මෙන්ම ඊශ්‍රායල සිවිල් වැසියන් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරන අතර, සියලුම ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව වහා නිදහස් කරන ලෙස ද ඉල්ලා තිබේ.
ආරක්ෂක මණ්ල යෝජනාව සම්මත වීම සඳහා සාමාජිකයන් 15 දෙනා අතුරින් 09 දෙනෙකුවත් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු වේ.