WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාජාණ්ඩුවට අපහාස කළ මන්ත්‍රීවරියට වසර 06ක සිරදඬුවමක්

2023 December 14- Page Views : 10

රාජාණ්ඩුවට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් තායිලන්ත මන්ත්‍රීවරියකට එරට අධිකරණය මඟින් වසර හයක සිරදඬුවමක් නියම කර තිබේ.

Move Forward පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී 29 හැවිරිදි රුක්චනොක් ශ්‍රිනෝර්ක් හට මෙම සිර දඬුවම නියම වී ඇත.

සමාජ මාධ්‍යය ඔස්සේ රාජාණ්ඩුවට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට මෙම චෝදනා එල්ල වී තිබිණි.

lese-majeste හෙවත් එරට රාජාණ්ඩු නීතිය යටතේ හා පරිගණක අපරාධ පනත යටතේ ඇයට මෙම සිරදඬුවම් නියම වී ඇති අතර, lese-majeste නීතිය යටතේ වසර 03ක් හා පරිගණක අපරාධ යටතේ වසර 03ක් ලෙස ඇයට මෙම සිරදඬුවම නියම වී ඇත.

ඇය මේ වන විට ඇප ඉල්ලීම් සිදු කර ඇති අතර, අධිකරණය ඇයට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ හොත් ඇයගේ පාර්ලිමේන්තු අසුන ද අහිමි වීමේ අවදානමක් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මහා වජිරලොංකෝන් රජුට අයත් සමාගමක COVID-19 එන්නතක් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් දැන් X ලෙස හඳුන්වන සමාජ මාධ්‍ය‍ය හෙවත් එවකට ට්විටර් අවකාශයේ ඇය පළ කළ අදහසක් පිළිබඳ ඇයට චෝදනා එල්ල වී තිබිණි.

කෙසේ වෙතත් ඇය සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

සිර දඬුවම් ලද පාර්ලිමේන්තු මන්ත්‍රිනී රුක්චනොක් රාජ්‍ය විරෝධී, තරුණ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රමුඛත්වය ලබා ගත් අයෙකු වන අතර, ඇය රාජාණ්ඩුව සහ lese-majeste නීතිය ප්‍රතිසංස්කරණය කරන ලෙස ද ඉල්ලා සිටි අයෙකි.

එසේම ඇයගේ මතවාදයට 100,000කට අධික ජනතාවකගේ ආකර්ෂණය ද හිමි වූ බව සඳහන්ය.

පසුව ඇය Move Forward පක්ෂය හා සම්බන්ධ වූ අතර, මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

තායිලන්තයේ lese-majeste නීතිය ලෝකයේ පවතින දැඩි නීති අතරින් එකක් වන අතර, ඒ හරහා රජු, රැජින, උරුමක්කාරයා යන පිරිස, විවිධ වූ පාර්ශ්වයන්ගෙන් එල්ල වන විවේචනවලින් ආරක්ෂා කරයි.

එසේම රාජාණ්ඩුවට කරන සෑම අපහාසයක් සඳහාම වසර 15ක සිර දඬුවමක් නියම වීමට තරම් එම නීතිය බලවත් වේ.

කෙසේ නමුත් විවේචකයන් පවසන්නේ, විවිධ වූ විසම්මුතීන් නිහඬ කිරීම සඳහා මෙම නීතිය ආයුධයක් බවට පත් වී ඇති බවයි.

භාෂණයේ නිදහස සීමා කිරීම සඳහා බලධාරීන්ට ඕනෑවට වඩා පුළුල් බලතල ලබා දීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ පනත, අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කරන්නන් විසින් ද විවේචනයට ලක් කර ඇත.

මේ අතර, මානව හිමිකම් සඳහා වන 'තායි ලෝයර්ස්' නම් උපදේශක කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන ලද දත්තවලට අනුව, 2020 සිට රාජාණ්ඩුවට අපහාස කිරීම සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයන් 262 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.