WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායල බලපෑම් බැහැර කරයි

2024 January 08- Page Views : 10

ඊශ්‍රායල - හමාස් යුද්ධය මැදපෙරදිග කලාපය පුරා පැතිරීම වැළැක්වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය දරණ උත්සාහයේ තවත් පියවරක් ලෙසින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් දැන් නැවතත් එම කලාපයේ සංචාරයක නිරත වෙයි.

මැදපෙරදිග කලාපයේ තම අභිලාෂයන්ට යුද්ධය මගින් අහිතකර ලෙස බලපෑම වැළැක්වීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ලෙස සඳහන් ය.

විශේෂයෙන් ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් දහස් ගණනින් මියයාම මැදපෙරදිග අමෙරිකානු හිතවාදී රටවල නායකයන්ටද අභියෝගයක් වී තිබේ.

මේ නිසා සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කරන ලෙස අමෙරිකාව ඊශ්‍රායලයට නිරන්තරයෙන් ප්‍රකාශ කළද ඔවුන්ගේ එම පියවර වැළැක්වීම සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැත.

එමෙන්ම ගාසා තීරයේ තිරසාර සටන් විරාමයක් ඇති කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනා අමෙරිකාව නිෂේධ බලය යොදා පරාජය කරනු ලැබීය.

ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව උදෙසා මීට වඩා වැඩි පියවරක් ගන්නා ලෙස ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය ලේකම් බ්ලින්කන් සඳහන් කළේය.

එමෙන්ම පලස්තීනුවන්ට ගාසා තීරය හැරයාමට බල නොකළ යුතු අතර යුද්ධය අවසන් වූ පසු ඔවුන්ට නැවතත් සිය නිවෙස් වෙත පැමිණීමට අවස්ථාව ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ඊශ්‍රායලය සිය ප්‍රහාරක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් අතිශය විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි නිසා කඩිනම් සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලයට බලපෑම් කරන්නැයි ජෝර්දානයේ අබ්දුල්ලා රජු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් ය.

කෙසේ නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ඊශ්‍රායල, හමාස් සංවිධානයට එරෙහි සටන නතර නොකරන බවයි.

හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම, සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කරගැනීම සහ ගාසා තීරය තවදුරටත් ඊශ්‍රායලයට තර්ජනයක් නොවන බවට සහතික කරගැනීම සහ ඉලක්ක සපුරා ගන්නාතුරු යුද්ධය නතර නොකළ යුතු බව ඊශ්‍රායල අගමැති නෙතන්යාහු කියා සිටියේය.

ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ ඊයේ පැවති රැස්වීමේදී අගමැති නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ඒ බව සිය සතුරන් සහ මිතුරන් යන දෙපාර්ශ්වයටම පවසන බවයි.

ගාසා තීරයට පසුගිය පැය 24 තුළ එල්ල වූ ප්‍රහාරවලින්ද තවත් 111 දෙනෙකු මියයාමත් සමඟ මියගිය සම්පූර්ණ ගාසා වැසියන් සංඛ්‍යාව 22,835 දක්වා ඉහළ යන බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේය.

ඉන් 70%කට වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් ය.