WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දු - මාලදිවයින් අර්බුදය ඔඩුදුවයි

2024 January 09- Page Views : 10

සතියක දීර්ඝ සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු දකුණු දිග චීනයේ ෆුෂු නුවරදී අද ආයෝජන සමුළුවකට සහභාගී වී තිබේ.

එය සංවිධාන කර තිබුණේ මාලදිවයිනේ ආයෝජන (INVEST MALDIVES) ලෙසිනි.

මාලදිවයින් නව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසේ මීළඟ පියවර වන්නේ බීජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සහ අග්‍රාමාත්‍ය ලී චියං මුණගැසීමය.

මේ සියල්ල සිදුවී ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලක්ෂද්වීප සංචාරය සහ ඉන්දියාවේ ඊශ්‍රායල සබඳතා විවේචනය කරමින් මාලදිවයිනේ කණිෂ්ට අමාත්‍යවරියන් දෙදෙනෙකු සහ අමාත්‍යවරයෙකු සිදුකළ ප්‍රකාශ හේතුවෙන් පැනනැඟුණු ඉන්දු - මාලදිවයින් අර්බුදය තවදුරටත් දිග් ගැස්සෙමින් පවතින අවස්ථාවක වීම විශේෂත්වයකි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සාගරයේ පිහිටි ඉන්දියාවට අයත් ලක්ෂදවීප දිවයිනේ සංචාරයක නිරතවූයේ ද මාලදිවයිනට යම් පණිවුඩයක් ලබාදීමට බව ඇතැමුන්ගේ අදහසයි.

ඒ මාලදිවයිනේ ඉන්දියාවට පසමිතුරු චීන හිතවාදී මොහොමඩ් මුයිසු රජය, ඉන්දීය විරෝධී පියවර කිහිපයක්ම ක්‍රියාවට නැංවීම හේතුවෙනි.

මාලදිවයිනේ රැඳවූ ඉන්දීය හමුදා ඉවත් කිරීම සහ නව ජනාධිපතිවරයා ඉන්දියාව මඟහැර චීන සංචාරයකට එක්වීම එවැනි පියවර කිහිපයකි.

මාලදිවයින් රජයේ අමාත්‍යවරුන් පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීමත් සමග මෙම සීතල යුද්ධය පුපුරා ගිය අතර, ඉන්දියානුවන් මාලදිවයිනේ සංචාර මඟහැරීමට ද කටයුතු කළේ ඒ සඳහා සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ද ආරම්භ කරමිනි.

පසුගිය වසරේ මාලදිවයිනට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණියේ ඉන්දියාවෙන් සහ රුසියාවෙනි.

විශේෂයෙන් බොලිවුඩ් පුරයේ සුපිරි තාරකා මාලදිවයිනේ සංචාරය කරමින් පළකරන සමාජ මාධ්‍ය සටහන් ජනප්‍රිය රැල්ලක් ගොඩනැගුවා මෙන්ම මාලදිවයිනේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ද ඉවහල් වුණි.

එහෙත් දැන් ඔවුන් මාලදිවයින මඟහැරීමට කටයුතු කරමින් සිටින අතර ඉන්දියාවේ විශාලතම සංචාරක සේවා සැපයුම්කරුවෙකු වන ease my trip (ඊස් මයි ට්‍රිප්) මාලදිවයින සඳහා සිදුකරන හෝටල් වෙන් කරවා ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

ease my trip ඉන්දියාවේ සංචාරක සේවා සැපයුම් වෙළෙඳපොළින් 22%ක ප්‍රතිශතයක් හිමි සමාගමක්.