WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රතු මුහුදේ නෞකාවලට හූති කැරලිකරුවන්ගෙන් තවදුරටත් ප්‍රහාර

2024 January 10- Page Views : 10

ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන්ට සහෝදරත්වය පළ කරමින් යේමනයේ හූති කැරලිකරුවන් රතු මුහුදේ වෙළෙඳ නෞකාවලට එල්ල කරන ප්‍රහාර අද ලෝකයේ නෞකා භාණ්ඩ ප්‍රවාහනයේ අර්බුදයක් නිර්මාණය කර තිබේ.

මීට පෙර ද පැවසුණු පරිදි ආසියාකරයේ සිට යුරෝපයට ඇතුළු විය හැකි කෙටිම නෞකා මාර්ගය වන හුවස් ඇළ හරහා ගමන් කිරීමට නම්, රතු මුහුද හරහා අනිවාර්යයෙන් යාත්‍රා කළ යුතු වේ.

නැති නම්, අප්‍රිකානු මහාද්වීපය වටා ගොස් දකුණු අප්‍රිකාවේ සුභ ප්‍රාර්ථනා තුඩුව හරහා යුරෝපයට ළඟා වීමට ගමන් කළ යුත්තේ දීර්ඝ නෞකා මාර්ගයකිනි.

මෙලෙස හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ නෞකා ප්‍රවාහන සමාගම් රතු මුහුද හරහා සිය නෞකා ගමනාගමනය සීමා කළේ ලෝක වෙළෙඳපොළේ සියලුම වෙළෙඳ භාණ්ඩවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති කරමිනි.

අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් රැසක් රතු මුහුදේ වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා ඉදිරිපත් වූයේ, මෙවැනි පසුබිමක් තුළයි.

හූති කැරලිකරුවන් සන්නද්ධ කිරීම සඳහා ඉරානය සහාය වන බවට අමෙරිකාව දිගින් දිගටම චෝදනා කර ඇත.

අමෙරිකා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම විධානය (central command) ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ (09) දිනයේ දී රතු මුහුදේ දකුණු දිග ප්‍රදේශයට එල්ල වූ හූති කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානා සහ මිසයිල 21ක් වැළැක්වීමට අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා සමත් වූ බවයි.

දෙරටේ නාවික හමුදා එම මිසයිල හා ඩ්‍රෝන යානා බිම හෙළීමට සමත් වූ බව එමඟින් සඳහන් කර ඇත.

කෙසේ නමුත් හූති කැරලිකරුවන් පවසන්නේ, ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නතර කරන තුරු තමන් රතු මුහුදේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නතර නොකරන බවයි.