තෙවැනි ලෝක යුද්ධය අත ළඟ
2024 March 18- Page Views : 10
රුසියාව සහ නේටෝ සංවිධානය අතර ඍජු සටනක් ඇති වුවහොත් එය පෘථිවිය තුන්වැනි ලෝක යුද්ධයට එක් පියවරක් දක්වා ආසන්න කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් අනතුරුව වාර්තාකරුවන් අමතමින් ප්‍රකාශ කළේය.
යුක්‍රේන යුද්ධය, 1962 කියුබානු මිසයිල අර්බුදයෙන් පසු රුසියාව සහ බටහිර ලෝකය අතර දරුණුතම අර්බුදය නිර්මාණය කර තිබේ.
එවැනි වාතාවරණයක් හමුවේ න්‍යෂ්ටික යුද්ධයක අවදානම පිළිබඳව ජනපති පුටින් කිහිප වතාවක්ම අනතුරු අඟවා ඇතත් යුක්‍රේනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුවී නොමැති බව ඔහු සඳහන් කර ඇත්තේය.
ඉදිරියේදී යුක්‍රේනය තුළ නේටෝ හමුදා යෙදවීම බැහැර කළ නොහැකියැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්‍රෝන් පසුගිය මාසයේ සිදුකළ ප්‍රකාශයේදී බටහිර රටවල් බොහොමයක් ඔහු හා එකඟවූයේ නැත.
ප්‍රංශ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ රුසියාව හා නේටෝ සංවිධානය අතර යුද්ධයක් හටගැනීමේ හැකියාව පිළිබඳව වාර්තාකරුවන් ජනපති පුටින්ගෙන් විමසා තිබුණි.
එහිදී ඔහු පවසා ඇත්තේ නූතන ලෝකයේ ඕනෑම සිදුවීමකට අවස්ථාව පවතින බවයි.
ජනපති පුටින්ගෙන් විමසීම සිදුකර තිබෙන්නේ ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ප්‍රථම වරට වාර්තාකරුවන් ඇමතූ අවස්ථාවේදී ය.
එහිදී පුටින්ගේ පිළිතුර වූයේ එය මහා පරිමාණ තුන්වැනි ලෝක යුද්ධයකට ඇත්තේ තවත් එක් පියවරක් පමණක් බව සියල්ලන්ට පැහැදිලි කරදෙන කරුණක් බවයි.
ඒ සඳහා කිසිවෙක් උනන්දුවක් දක්වන්නේයැයි සිතිය නොහැකි බවද ජනපති පුටින් කියා සිටියේය.
නේටෝ හමුදා දැනටමත් යුක්‍රේනය තුළ ක්‍රියාත්මක වන බවට සාක්ෂි ඇතැයි පැවසූ ජනපති පුටින් අනාවරණ කළේ යුද බිමේදී ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා යොදාගන්නා අයුරු ශ්‍රවණය කර ඇති බවයි.
බටහිර රටවල් විසින් රුසියානු මැතිවරණය නිදහස් හා සාධාරණ නොවන බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ ජනපති පුටින් අමෙරිකානු රජයටද සමච්චලයක් එල්ල කළේය.
අමෙරිකානු මැතිවරණයද ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව පැවසූ ජනපති පුටින්, හිටපු ජනපති ට්‍රම්ප්ට එරෙහිව රාජ්‍ය බලය යොදාගන්නා බවටද චෝදනා කළේය.
අමෙරිකාවේ අද සිදුවන දේශපාලන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, ඔවුන් ලෝකයේම හාස්‍යයට ලක්වී ඇති බවත් ජනපති පුටින් මෙහිදී සඳහන් කර තිබුණි.