WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්ලබ් වසන්තට මරු කැඳවූ වෙඩි ප්‍රහාරයේ කරුණු රැසක් අනාවරණය වෙයි

2024 July 10- Page Views : 35

අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීම සැලසුම් කළේ තමන් බව, එම ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් තමන්ගේ ගිණුමට ඩුබායි සිට රුපියල් ලක්ෂ 10ක මුදලක් බැර වී තිබූ බව ද ඔහු ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඩුබායි හි සැඟව සිටින අපරාධකරුවෙකු වන අහුන්ගල්ලේ ලොකු පැටී නමැත්තා විසින් බව ද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

අතුරුගිරිය මංසන්ධියේ මෙම ටැටූ ව්‍යාපාරික ස්ථානය විවෘත කරන බවට සඳහන් වූ ප්‍රචාරක දැන්වීමක් එහි හිමිකරු වන දුලාන් සංජුල නමැත්තා පසුගිය දින කිහිපයේම සිය සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ ප්‍රචාරය කර තිබුණා.

එහි දැක්වුණේ, 8 වැනි සඳුදා දින පෙරවරු 9.48ට ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ ඔහුගේ බිරිඳ මෙම ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමට එක්වන බවයි.

ඒ අනුව, ඊයේ (08) පෙරවරුවේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා, අතුරුගිරිය මංසන්ධියේ පහිටි මෙම ව්‍යාපාරික ස්ථානයට පැමිණ තිබුණා.

ඒ, මෙම නව ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීම සඳහායි.

එම අවස්ථාවට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සූජිවාද එක්ව සිටියා.

ඒ වනවිටත්, ඝාතන කොන්ත්‍රාත්කරුවන් මෙම ස්ථානය කරා ළඟ වෙමින් සිට ඇති අතර, පෙරවරු 10.30ට පමණ ඔවුන් ක්ලබ් වසන්ත නමැත්තා සිටි ස්ථානයට පැමිණෙන අයුරු cctv කැමරාවල සටහන්ව තිබුණා.

උඩුමහලට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා, ටී.56 ගිනි අවි දෙකකින් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පිරිස ඉලක්ක කර වෙඩි තබන අයුරු ද එම cctv කැමරාවල පටිගතව තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පිරිස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඒ වනවිටත් ක්ලබ් වසන්ත නමැත්තා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ක්ලබ් වසන්ත නමැත්තාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙසින් සේවය කළ 38 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයා ද පසුව මිය ගියා.

වෙඩි වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සූජීවා ඇතුළු දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණු අතර, ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳ සහ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ බිරිඳ ද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මෙම වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන දුලාන් සංජුල නමැත්තාද ඒ අතර සිටින බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මෙම වෙඩි තැබීම සැලසුම් කළ බවට පාපෝච්චාරණයක් කර තිබෙනවා.

පොලිසියේ පැවසුවේ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීම සඳහා ම තමන් මෙම ව්‍යාපාරික ස්ථානය ආරම්භ කිරීම සැලසුම් කළ බවත්, කලක පටන් ක්ලබ් වසන්ත නමැත්තා සමග සමාජ මාධ්‍ය ඔස්සේ සමීප ඇසුරක් පවත්වාගෙන ගිය බවත් දුලාන් සංජුල නමැත්තා ප්‍රකාශ කළ බවයි.

එමෙන්ම, ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීම සැලසුම් කිරීම සඳහා තම ගිනුමට ඩුබායි රාජ්‍යයේ සිට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබුණු බවත් ඔහු පවසා තිබෙනවා.

ඊයේ වෙඩි තැබීමෙන් පසු, ක්ලබ් වසන්ත නමැත්තා රෝහල්ගත කිරීමෙන් පසු, ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන දුලාන් සංජුල නමැත්තා දැඩි ලෙස කම්පාවට පත්වන අයුරුද වීඩියෝවන්හි පටිගත වී තිබුණා.

මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ඝාතනයේ සැකය විදේශයක සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාලා නායකයෙකු ලෙසින් ප්‍රකට කංජිපානි ඉම්රාන් නමැත්තා කළ බවට හැඟවෙන පරිදි සැලසුම් කර තිබුණා.

ඒ වෙඩි තැබීමෙන් පසු එම ස්ථානයේ තිබී හමු වූ පතරොම් කොපු 27ම kpi ලෙසින් සටහන් කර තිබීම හේතුවෙන්.

පසුගිය කාලයේ කංජිපානි ඉම්රාන් විසින් මෙරටට රැගෙන එනු ලැබූ මත්ද්‍රව්‍ය බොහොමයක එම KPI කෙටි නාමය සඳහන්ව තිබූ බවද පොලිසිස සඳහන් කළා.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා සහ කංජිපානි ඉම්රාන් නමැත්තා අතර කලක පටන් දැඩි ආරවුලක් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.

ඊට හේතු වන්නේ, 2019 වර්ෂයේදී මාකඳුරේ මධූෂ් නමැත්තා සහ කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් ඩුබායිහි පැවැත්වූ සාදයක් අතරතුර අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු ලබා දී ඇත්තේ ක්ලබ් වසන්ත නමැත්තා බවට කංජිපානි ඉම්රාන් තුළ සැකයක් පැවතීම විය හැකි බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන් cctv ඔස්සේ සිය පරීක්ෂණ දියත් කළ අතර, ඒ අනුව, මෙම වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ තිබියදී සොයා ගත්තා.

ඔවුන්, එම මෝටර් රථයෙන් ගොස් කොරතොට ප්‍රදේශයේ මෝටර් රථය දමා, වෑන් රථයකට මාරුවන අයුරු ද cctv කැමරාවක පටිගතවී තිබුණා.

පසුව, එම වෑන් රථයද පොලිසිය සොයා ගත් අතර, ඒ, බුලත්සිංහල දෙල්මැල්ල ප්‍රදේශයෙන්.

පොලිසිය පැවසුවේ, වෙඩික්කරුවන් වෑන් රථය ද මහ මග දමා, එහි සිට දම් පැහැති ප්‍රියස් වර්ගයේ මෝටර් රථයකින් පළා ගිය බවට අනාවරණය වී ඇති බවයි.

මොවුන් වෙඩි තැබීම සඳහා පැමිණ සුදු පැහැති මෝටර් රථය එකලස් කරන ලද එකක් බවත්, මෙම වාහන සියල්ලේම අංක තහඩු ව්‍යාජ ඒවා බවත් පොලිසිය ප්‍රකාශ කළා.

මේ වනවිට ටැටූ ව්‍යාපාරිකයාගේ පවුලේ කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය පැවසුවේ, වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණෙන විට ව්‍යාපාරික ස්ථානයේ දොරටුව අසළ දුරකථනයක් ද අතැතිව සිටි ටැටූ ව්‍යාපාරිකයාගේ සහෝදරයා ද ඒ අතර සිටින බවයි.

එමෙන්ම, මෙම වෙඩි තැබීම සඳහා සුදු පැහැති මෝටර් රථයෙන් සිව් දෙනෙකු පැමිණ ඇති බවත් පොලිස් බුද්ධි අංශ තහවුරු කරගෙන තිබෙනවා.