ඉපලෝගම යතුරුපැදි අනතුරකින් හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු මරුට
2025 February 07- Page Views : 39 ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ දී අද (07) සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තරුණයකු විසින් ඉපලෝගම රණජයපුර මංසන්ධීයේ සිට රණජයපුර නිවාස සංකීර්ණය දෙසට ධාවනය කරමින් තීබු නවීන පන්නයේ යතුරු පැදියක් වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක වැදිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙසේ මිය ගොස් ඇත්තේ එම යතුරු පැදිය පැදවූ බව කියන ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 25ක් වන චානුක දේශාන් හේරත් නමැති අවිවාහක තරුණයෙක්.
අනතුරින් පසු බරපතළ තත්වයේ සිටි එම තරුණයා රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මිය ගිය තරුණයා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස රාජකාරීකරමින් සිටි අයෙක් වන අතර ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ කඳවුරකට අනියුක්තව සේවය කරමින් සිට ඇති බවයි.