WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ ආරක්ෂක අංශ සාමාජිකයින්ට සහන සැලසීම සඳහා සාකච්ඡාවක්

2026 June 12- Page Views : 12

ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් හට සහන සැලසීම වෙනුවෙන් වන සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

පසුගිය 09 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම සාකච්ඡාවේදී යුදමය වාතාවරණය පැවැති සමයේදී ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුන්ගේ නොවිසඳුනු ගැටළුවලට සහන සැලසීම සඳහා වැඩපිළිවළක් ආරම්භ කිරීමට පත්කරන ලද කමිටුවට අදාළ කැබිනට් පත්‍රිකාව අනුව සහන ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ත්‍රස්ත ක්‍රියා හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය, ආබාධිත වූ හෝ ආබාධිත තත්ත්වය හේතුවෙන් නිවාඩු නොමැතිව රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් සේවයෙන් ඉවත් කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජනය සහිත වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමත් එම වෛද්‍ය මණ්ඩල කටයුතු ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කර ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් සාකච්ඡා වී තිබේ.

මෙම ක්‍රමවේදය තුළින් සහන බලාපොරොත්තුවෙන් දිවයින පුරා විසිරී සිටින ආබාධිත රණවිරු සාමාජිකයින්ට හට අවහිරතාවයක් නොවන පරිදි ත්‍රිවිධ හමුදාවන් සතුව පවතින වෛද්‍ය පහසුකම් උපරිම අයුරින් භාවිත කරමින් ඔවුන් වෛද්‍ය මණ්ඩලවලට යොමු කරවා සහන හිමිගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බවද, සුදුසුකම් ලබන පුද්ගලයින් වෙත ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ ළඟා කර දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පාර්ශ්වකරුවන්ටද නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.