WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් 'අපරාධ නීතිය' යටතේ කොටුකර ගැනීමට සැරසෙයි 

2026 July 24- Page Views : 3

ආනයන අපනයන ගනුදෙනුවලදී සිදුවන මූල්‍ය වංචාවන් වැළැක්වීම සඳහා, ඊට සම්බන්ධ පුද්ගලයන් අපරාධමය වරදකරුවන් ලෙස හසුකරගත හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් පවතින බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, වත්මන් විදේශ විනිමය පනතේ පවතින හිඩැස් හේතුවෙන් මෙවැනි මූල්‍ය වංචා මේ වන විට 'සිවිල් වැරදි' ලෙස පමණක් වර්ගීකරණය වී ඇති බවය.

"දැනට පවතින නීතිය අනුව මෙවැනි වංචාවකදී සිදුවන්නේ මහ බැංකුවේ දඩයකට යටත්වීම පමණයි. සැලසුම් සහගතව ඩොලර් වංචා කරන පුද්ගලයන්ට දඩයක් ගෙවීම අපහසු කාරණයක් නෙවෙයි. එම නිසා වත්මන් රජය නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා" නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය.

මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා අදාළ නීති විරෝධී ක්‍රියාවන් අපරාධමය වරදක් ලෙස නිර්වචනය කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිදුකළ විමර්ශන වාර්තා තුනක් මඟින් මහා පරිමාණ මූල්‍ය වංචාවන් අනාවරණය වී ඇත.

වත්මන් ක්‍රමවේදය අනුව රේගු නිශ්කාශන ලබාගැනීමට පෙර ආනයනකරුවන්ට පහසුකම් සලසාලීම සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමට අවස්ථාව දී තිබේ. 

ඒ අනුව කර්මාන්ත සඳහා යොදාගන්නා සාමාන්‍ය භාණ්ඩ සඳහා දින 180ක්, ඇතැම් විශේෂිත භාණ්ඩ සඳහා දින 360ක්, කාර්මික උපකරණ නිෂ්පාදනය වැනි දිගුකාලීන අවශ්‍යතා සඳහා දින 730ක් දක්වා කාලයක් භාණ්ඩ ලංකාවට රැගෙන ඒමට සහන කාලයක් හිමිවේ.

කෙසේ වෙතත් මෙම සහනය අවභාවිත කරමින් විදේශයන්ට ඩොලර් යවා ඇති නමුත්, ඊට සාපේක්ෂව කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නොමැති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම තත්ත්වය වැළැක්වීම සඳහා රජය ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සැලසුම් කර ඇති බව අනිල් ජයන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රේගු දෙපාර්තමේන්තුව සහ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය යන ආයතනවල පවතින ගැටලු නිරාකරණය කරමින් ඒවායේ පද්ධති එකිනෙකට ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන්නේය.

බැංකුකරුවන් මුදල් ගනුදෙනු සිදු කිරීමේදී රේගු දෙපාර්තමේන්තුවේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු පරිදි රෙගුලාසි පැනවීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව විවිධ රේගු සංකේත අවභාවිත කරමින් නීති විරෝධී ලෙස භාණ්ඩ අපනයනය කිරීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. 

විශේෂයෙන්ම මෙරටින් අපනයනය කළ නොහැකි ලෝහ වර්ග වැනි දේ, ඒවායේ ආකෘතිය වෙනස් කර වෙනත් භාණ්ඩ ලෙස ව්‍යාජ සංකේත යටතේ අපනයන කර ඇති බවද අනාවරණය වී තිබේ.

මෙමඟින් නිසි පරිදි බදු ගෙවා නීත්‍යානුකූලව ව්‍යාපාර කරන අයට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙන්වා දුන් අනිල් ජයන්ත මහතා, නව නීති මඟින් මෙවැනි නීති විරෝධී අපනයන වළක්වන අතරම දේශීය කර්මාන්ත වැඩි දියුණු කිරීමට උපරිම පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.