WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදයි

2026 July 26- Page Views : 11

කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදට (26) යෙදී තිබේ. මෙවර එහි තේමාව වනුයේ "තිරසර නිල් ආර්ථිකයක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිරෝගී කඩොලාන පරිසරයක්” යන්නය. අදට නියමිත ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින වැඩසටහන නිමිත්තෙන් හෙට (27) දිනයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් වනස්පති ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීම සඳහා වන ගැසට් පත්‍රයට අත්සන් තැබීමටද නියමිතය. ඒ අනුව තිල්ලිඅඩිය, සම්මට්ටවාඩිය, මුතලප්පාලි, කුඩාව කඩොලාන, කුඹුටු කුලියාව, කරඹේ කඩොලාන, කන්දකුලිය, මණ්ඩල කුඩාව යන කඩොලාන රක්ෂිත ලෙස ගැසට් කිරීමට නියමිතය. “කඩොලානට දලුලන්න ඉඩදෙන්න”ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ පසුගිය වසරේදී පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හලාවත අඩවි වන කාර්යාලයට අයත් මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර 67කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කෙරිණි. ලංකාවේ මේ වන විට පවතින සමස්ත කඩොලාන භුමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර එයින් කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ප්‍රදේශ ආශ්‍රිතව වේ.  ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන් හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට මෙරට කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී ඇති බවට පර්යේෂණයන්ගෙන් කරුණුවලින් අනාවරණය වේ. කඩොලාන පරිසර පද්ධතිය මඟින් ලබා දෙන පාරිසරික, ආර්ථික හා සමාජයීය සේවාවන් සැලකිල්ලට ගනිමින් එහි සංරක්ෂණය ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකා 2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී සෑම වසරකම ජුලි 26 දින අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.  මෙම සුවිශේෂිත පරිසර පද්ධතියෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ එහි කිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් සෙවීමට පෙළඹවීම මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වේ. මෙම ජාත්‍යන්තර දිනයේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, පරිසර අමාත්‍යාංශය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව, අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය සැමරීමේ ජාතික උත්සවය හෙට දිනයේදී  පරිසර අමාත්‍යාංශයේදී  විශේෂ වැඩසටහන් කිහිපයක් ද පැවැත්වීමට නියමිතය.