WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහරගම වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

2025 August 07- Page Views : 57

මහරගම නාවින්න ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබු යුද හමුදා කෝප්‍රල්වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහරගම නාවින්න ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ ඊයේ රාත්‍රී 8ට පමණ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

දැනට කරන ලද විමර්ශනවලට අනුව වෙඩි වැදුණු පුද්ගලයා කුලී පදනම මත ලබාගත් යතුරු පැදියකින් මහරගම නාවින්න ප්‍රදේශයට පැමිණ ඇති බවයි හෙළි වී ඇත්තේ.

පසුව ඔහු නාවින්න ප්‍රධාන බස්නැවතුම්පල අසළදී එම යතුරු පැදිය නවතා කිසියම් පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

එම අතරවාරයේදී ආහාර බොදාහරින ආයතනයක බෑගයක්ද සහිතව එම ස්ථානයට පැමිණි දෙදෙනෙක් විසින් ඔහුට වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, වෙඩි වැදුණු පුද්ගලයා තුවාලද සහිතව හයිලෙවල් මාර්ගයේ සිට දුම්රිය මාර්ගය දෙසට මීටර් දහයක් පමණ දුරක් දිවගොස් තිබෙනවා.

එම ස්ථානයේ ඇදවැටුණු ඔහු පොලිසිය මැදිහත්වී රෝහල් ගතකිරීමට පියවර ගත්තා.

පොලිසිය පැවසුවේ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු ශල්‍ය කර්මයකට භාජනය කොට දැඩි සත්කාර ඒකකගේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙසේ තුවාල ලබා ඇත්තේ දෙහිවල කළුබෝවිල විමලසාර මාවතේ පදිංචි ලියනගේ දේශාන් කුමාර පෙරේරා නමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා 07 සේවා බලකායේ ස්වාධීන ප්‍රවාහන බලඝණයට අනුයුක්තව සේවය කළ ලාන්ස් කෝප්‍රල්වරයෙකු බව පොලිසිය සඳහන් කළා.

වෙඩි වැදුණු පුද්ගලයාගෙන් පොලිසිය කළ විමසීමකදී ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස් මල්ලි නමැත්තා තමන්ට මරණ තර්ජන කළ බවයි.

කොස් මල්ලි නමැත්තා විසින් ඔහුට නාවින්න ප්‍රදේශයට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බව ද පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබෙනවා.

ඒ අනුව මෙම වෙඩි තැබීමට හේතුව සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර සිදුවු ගැටුමක් බවටයි පොලිසිය සැකකරන්නේ.

වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බඩෝවිට අසංකගේ පාර්ශ්වයෙන් සිදුකරන්නට ඇති බවටත් සැක පලවනවා.

කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ අතර අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයට ලක් වූ යුද හමුදා කෝප්‍රල්වරයා සම්බන්ධයෙන් වෙනමම විමර්ශනයක් සිදුකරන බවයි.

ඔහු සම්බන්ධකම් පැවැත්වූ පාතාල කණ්ඩායමක් සම්බන්ධයෙන් හෝ ඔහු විසින් සිදුකළ අපරාධයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා නොවන බවද ඔහු සඳහන් කළා.

මෙම වෙඩි තැබීමත් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් වසරේ මේ දක්වා වෙඩි තැබීම් 76ක් සිදුකර ඇති අතර ඉන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් 44 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.