හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 24ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2022 වසරේ කොළඹ, මෝදර ප්‍රදේශයේ පොලීසිය විසින් සිදුකළ වැටලීමේදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 24ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කළේය.

නඩු විභාගයෙන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.