යේමනයේ නගර සහ යේමනයට ඔබ්බෙන් රතු මුහුදේ කුඩා දූපත් එකිනෙක හූති සටන්කාමීන්ගේ ග්‍රහණයට පත්වෙයි. විදෙස් මාධ්‍ය  වාර්තා කළේ යේමනයේ උපායමාර්ගික වැදගත්කමකින් යුත් මොචා වරාය නගරය ද හූති සටන්කාමීන්ගේ ග්‍රහණයට නතු වුණු බවය.

මේ වනවිට දකුණු රතු මුහුදේ පිහිටි සුකාර් නමැති දූපත මෙන්ම යේමනයේ අක්-මාකා නමැති වෙරළාශිත නගරය ද හූති සටන්කාමීන් විසින් අත්පත් කරගනු ලැබ ඇත. හූති යනු යේමනයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ඉරාන හිතවාදී, ෂියා මුස්ලිම් සටන්කාමීන්ය.

යේමන රජයට සහාය දක්වන්නේ සෞදියයි. සුන්නි මුස්ලිම් බහුකරයක් වාසය කරන සෞදියට එරෙහිව, හූතිවරු සන්නද්ධ අරගලයක නියැලෙති.

සෞදි සහාය ලබන යේමන රජයේ හමුදා සහ හූතිවරුන් අතරේ මේ වනවිට යළිත් වරක් දරුණු අවි ගැටුම් පවතී.

හූතිවරුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සෞදිය මෙන්ම ඇමෙරිකාව ද දොස් නගා ඇත්තේ ඉරානයටය. ඉරානය පවසා ඇත්තේ හූතිවරුන් ක්‍රියා කරන්නේ ඔවුන්ගේ අභිමතය පරිදි බවත්, ඉරානය ඊට සම්බන්ධ නොමැති බවත්ය.

මොචා වරාය නගරය අත්පත් කර ගැනීමත් සමග දහස් ගණනක් නගර වැසියන්ට උන්හිටිතැන් අහිමි වූ බව ද පැවැසෙයි. කාන්තාවන්, කුඩා දරුවන් ඇතුළු නගරවාසීන්, ලාහිජ් සහ ඒඩ්න් යන පළාත්වලට පලා ගිය බව ද වාර්තා වේ. හුති සටන්කාමීන් සහ යේමන රජයේ හමුදා අතරේ හටගත් දරුණු ගැටුම් හේතුවෙන්, උන්හිටිතැන් අහිමිවුණු ගණන 20,000 කට වැඩි යැයි ද පැවැසෙයි.