කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව - ගනේතැන්න අතර මාර්ග කොටසේ එක් මං තීරුවක් විවෘත තැබීමට තීරණය කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

වර්ෂාව පැවතිය හොත් රාත්‍රී කාලයේදී මාර්ගය වසා තැබීමට තීරණය වූ බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

කෙසේවෙතත් හැකි තාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“මහනුවර ප්‍රධාන මාර්ගය අද උදෑසන 6.00ට අපි තාවකාලිකව විවෘත කරනු ලැබුවා. මාර්ග සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු පිරිසක් අද උදෑසන එක්ව එම ප්‍රදේශයේ භූමිය පරීක්ෂා කළා.

ඒ අනුව ඔවුන්ගේ නිර්දේශය මත අද දිනයේ එක් මංතීරුවක් විවෘත කිරීමට අපි කටයුතු කරනවා. මේ වන විට එය විවෘත කර තිබෙනවා. ඒ වගේම එම ස්ථානයේ ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන නිසා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා, එම මාර්ගයේ ධාවනය හැකි තරම් සීමා කර විකල්ප මාර්ග භාවිත කරන ලෙස. එසේ නොවුණහොත් වාහන තදබදයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම හවස් වරුවේදී හෝ රාත්‍රී කාලයේදී අධික වැසි තත්ත්වයක් ඇති වුවහොත්, මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාත්‍රී කාලයේදී මාර්ගය වසා තැබීමට අපට සිදුවේවි.”