අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවලට අයත් සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් 13 කට අද (21) දින නිවාඩු ලබා දී තිබේ.

නුවරඑළිය කලාපයේ පාසල් 156න් පාසල් 4ක් සහ හැටන් කලාපයේ පාසල් 150න් පාසල් 9කට නිවාඩු ලබා දී ඇති බව කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් සඳහන් කර සිටී.

පවතින අයහපත් කාලගුණයත් සමඟ පාසල් පැවැත්වීම ගැන තීරණය ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් වෙත පවරනු ලැබීය.

ඒ අනුව මෙම තීරණය ගෙන ඇති අතර නුවරඑළිය සහ හැටන් කලාපයේ අනෙකුත් පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් වැඩිදුරටත් පැවසීය.