කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර වසා දමා තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. අද (17) අලුයම 3.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, පැයක පමණ කාලයක් පුරා පැතිර ගිය ගින්න නිවා දැමීම සඳහා රත්නපුර නාගරික ගිනි නිවීමේ ඒකකය ද කැඳවා තිබේ.

ගිනිගත් ගොඩනැගිල්ල මීට පෙර නේවාසික රෝගීන්ගේ වාට්ටුවක් ලෙස භාවිත කර ඇති අතර, පසුව නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමත් සමඟ එම වාට්ටුව නව ගොඩනැගිල්ල වෙත මාරු කර ඇති බව සඳහන් වේ.

මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇති බව ද පොලීසිය පවසයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට ද සැක පළ කරයි. කෙසේවෙතත්, ආරක්ෂිත පියවරක් ලෙස අද අඵයම 04ට පමණ විදුලිබල මණ්ඩලය විසින් ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරිමට ද පියවර ගෙන තිබුණි.