Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලොවක් මවිත කළ සීගිරි බිතු සිතුවම්

|Mon,20 July 2020|Security| Page Views :

ලොව 8 වැනි පුදුමය ලෙසින් සලකන සීගිරි පර්වතය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගත් ස්ථානයක්. රමණීය ගල් පර්වතයක් මුදුනේ ගෘහ නිර්මාණ ශිල්පය, ජල තාක්ෂණය, සහ ඉංජිනේරු තාක්ෂණය අපූරුවට යොදාගෙන කළ ඇති නිර්මාණයන් සැබවින්ම විශ්මය දනවනසුළු යි. සීගිරි පර්වතය මුදුනේ තිබෙන එම නිර්මාණයන් සේම සීගිරි බිතු සිතුවම් ද සීගිරියට අපූරු සුන්දරත්වයක් ගෙන එනවා. එදා සීගිරියේ චිත්‍ර 500ක් පමණ සිතුවම් කර තිබුණ ද වර්තමානය වන විට ඉතිරිව ඇත්තේ සිතුවම් 21ක් වැනි සුළු ප්‍රමාණයක්.

සීගිරිය පිළිබඳව කෙටියෙන්

අඩි 660ක් පමණ උස පර්වතයක් වන සීගිරිය පිළිබඳව විවිධ මතවාදයන් ගොඩනැගී තිබෙනවා. සීගිරිය රාවණා පරපුරේ රජවරුන් සිය බලකොටුව ලෙසින් භාවිතා කළ බවට ඇතැමුන්ගේ මතයක් තිබුණත්, මහාවංසයේ ලියැවී තිබෙන්නේ දකුණු ඉන්දියාවට පළා ගිය මොග්ගල්ලාන කුමරුගෙන් එල්ල විය හැකි ආක්‍රමණයකට බියෙන් කාශ්‍යප රජතුමා සීගිරි පව්ව මුදුනේ බලකොටුවක් ගොඩනැගූ බව යි. කාශ්‍යප යුගයෙන් පසුව ද විවිධ ඉතිහාස මූලාශ්‍රයයන්වල සීගිරිය පිළිබඳව සඳහන් වී තිබුණත් 19 වැනි සියවසේ අවසන් භාගය වන විට සීගිරියේ ඉදිකිරීම් නටබුන් බවට පත්ව තිබුණා.

සීගිරියේ කැණීම්වල දී සොයාගත් බිතු සිතුවම්

ඉතිහාසයේ සඳහන් වන ආකාරයට සීගිරියේ කැණීම් ආරම්භ කර තිබෙන්නේ 1895 වසරේ දී යි. එවකට මෙරට පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් කටයුතු කළ H.C.P බෙල් යටතේ එම පුරාවිද්‍යා කැණීම් කටයුතු සිදු වුණා. ඊට වසර ගණනාවකට පෙර සීගිරියේ සිතුවම් තිබෙන බව හඳුනාගෙන තිබුණේ කලක් ලංකාවේ ආණ්ඩුකාරයා ලෙසින් කටයුතු කළ විලියම් ග්‍රෙගරි යි. ඔහු ඈතක සිට දුරදක්නයක් ආධාරයෙන් පර්වතය දෙස බැලීමේ දී මෙම සිතුවම් දැක තිබෙන බව යි පැවසෙන්නේ. 1899 වසරේ දී සීගිරි සිතුවම් පිටපත් කිරීම ආරම්භ කර තිබෙන්නේ මරේ නම් සුප්‍රසිද්ධ ඉංජිනේරුවා යි. ඉන් පසුව එම සිතුවම් පිටපත් කිරීම සිදුකර තිබෙන්නේ මුහන්දිරම් පෙරේරා නම් පුද්ගලයෙක්. එලෙස පිටපත් කළ සිතුවම් අද කොළඹ ජාතික කෞතුකාගාරයේ දී දැකගැනීමට පුළුවන්. සීගිරියේ කැණීම් කටයුතු සිදු කළ අවස්ථාවේ එහි කැටපත් පවුරේ ලියා තිබුණු කුරුටු ගී පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අවධානයට යොමු වුණා. එහි ලියා තිබුණු ගීත කිහිපයකම සඳහන් වී තිබුණේ එකල සීගිරියේ බිත්තිවල චිත්‍ර 500ක් පමණ ඇඳ තිබුණු බවයි.

අසිරිමත් සීගිරි බිතු සිතුවම්

සීගිරි බිතු සිතුවම්වල දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ ඉඟටියෙන් උඩ නග්න රූප පමණක් සිතුවම් කර තිබීම යි. එම චිත්‍ර ඇඳීම සඳහා වර්ණ සකසා ගැනීමේ දී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබීම සුවිශේෂී ලක්ෂණයක්. සීගිරි චිත්‍ර ඇඳීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කර තිබෙන්නේ රතු, කහ, කොළ, සහ කළු යන වර්ණයන් හතර යි. එහි දී නිල් වර්ණය භාවිතා කර නොතිබීම සුවිශේෂී ලක්ෂණයක්.

කැටපත් පවුරට අඩි 44ක් පමණ ඉහළින් පිහිටා ඇති සිතුවම් සහිත ලෙන අඩි 60ක පමණ දිගකින් යුක්ත යි. සිතුවම් ඇඳීම සඳහා එහි තිබෙන රළු බිත්තිය සුමට කර ඇත්තේ සුවිශේෂී බදාමයක් භාවිතා කරමින්. බදාම සෑදීම සඳහා දිවුල් ලාටු, මකුළු මැටි, මී පැණි, හුණු යනාදිය භාවිත කළ අතර එම බදාම සුමට කරන ලද්දේ දහයියා සහ පොල් කොහු සමග කිරිමැටි හා මැටි මිශ්‍ර කර සාදාගත් බදාමයකින් බැව් පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්‌වාමි මහතා පෙන්වා දෙයි. වර්ණ නිපදවීමේ දී ගොකටු කිරි සහ රණවරා ආදී ශාක යුෂ වර්ග භාවිතා කළා. එසේම චිත්‍ර වර්ණ ගැන්වීමේ දී බුරුසු සාදා ඇත්තේ වැටකෙයියා කෙඳිවලිනි. සීගිරි බිතු සිතුවම් ඇඳීමේ දී තෙත බදාම තාක්‌ෂණයත් වියළි බදාම තාක්‌ෂණයත් භාවිත කර තිබීම සුවිශේෂී ලක්ෂණයක්.

සීගිරි බිතු සිතුවම් පිළිබඳව පළවුණු විවිධ මත

සීගිරි බිතු සිතුවම්වලින් නිරූපණය වන්නේ කුමක්දැ යි කියා තවමත් නිශ්චිතව හඳුනාගෙන නැහැ. එදා සිට අද දක්වා කීර්තිමත් පුද්ගලයන් කිහිපදෙනෙකුම සීගිරි බිතු සිතුවම් පිළිබඳව විවිධ මතවාදයන් පළ කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම පුද්ගලයන් සීගිරි බිතු සිතුවම් පිළිබඳව ඉදිරිපත් කළ මතයන් කිහිපය යි.

H.C.P බෙල්

H.C.P බෙල් සඳහන් කරන්නේ මෙම සිතුවම්වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත්, නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් ය. ළඳුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වැඳීමට යන බව ඔහුගේ මතයෙහි වැඩිදුරටත් සඳහන්.

සෙනරත් පරණවිතාන

රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්, නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වැහි වළාකුළුත් නිරූපණය කෙරෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතානගේ මතය යි.

ආනන්ද කුමාරස්වාමී

සීගිරි චිත්‍රවලින් උඩුකය පමණක් දැක්වෙන නිසාත් වළාකුළුවලින් මතු වී එන ස්වරූපයක් නිර්මාණය කොට තිබෙන නිසාත් ඔවුන් සීගිරි අන්තඃපුර කාන්තාවන් නොවන බව ඔහු පැවසුවා. ඔහුට අනුව මෙහි සිතුවම් කර ඇත්තේ දිව්‍ය අප්සරාවන් ස්වකීය සේවිකාවන් සමඟ සීගිරි ගල මුදුනට පැමිණ මල්වැසි වස්සවන ආකාරය යි.

මාර්ටින් වික්‍රමසිංහ

සුප්‍රසිද්ධ ගත් කතුවරයෙකු වුණු මාර්ටින් වික්‍රමසිංහගේ මතය වුණේ රජතුමා ගේ බිසෝවරුන් හා සේවිකාවන් ජල ක්‍රීඩා කරන ආකාරයක්‌ මේ චිත්‍රවලින් නිරූපනය කරන බවයි.

නන්දදේව විජේසේකර

නන්දදේව විජේසේකරගේ මතය වුණේ කාශ්‍යප රජුගේ වියෝව නිසා වැළපෙන ඇතොවුර බිසෝවරුන් මෙම සිතුවම්වලින් නිරූපණය වන බවයි.

සීගිරි චිත්‍ර විනාශ කිරීම

1967 වසරේ ඔක්තෝබර් 14 වැනිදා යම් කිසි නාඳුනන පුද්ගලයන් පිරිසක් අනවසරයෙන් සීගිරි චිත්‍ර තිබුණු ගුහාවට ඇතුල් වී එහි තිබුණු සිතුවම්වලට හානිකර තිබුණා. එම පිරිස ඇතැම් සිතුවම්වල කොළ පැහැති තීන්ත වර්ගයක් ආලේප කර තිබුණා. එසේම සිතුවම් කිහිපයකට උල්වලින් ඇණ විනාශ කර දමා තිබුණු ආකාරය දක්නට ලැබුණා. එවකට අගමැතිවරයා වශයෙන් කටයුතු කළ ඩඩ්ලි සේනානායකත්, සංස්කෘතික ඇමතිවරයා ලෙසින් කටයුතු කළ රෆායල් ඊරියගොල්ලත් වහාම ක්‍රියාත්මක වී එවකට බිතු සිතුවක් කලාව පිළිබඳව වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටි ලුසියානෝ මරන්සි නැමැති ඉතාලි ජාතිකයා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා. 1967 වසරේ ඔක්තෝබර් 22 වැනිදා ලංකාවට පැමිණි මරන්සි එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන අංශය භාරව කටයුතු කළ රාජා ද සිල්වාගේ සහායත් ලබාගෙන සිතුවම් ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. එහි දී මරන්සි මෙහි රැගෙන ආ ඩෙකාපෙක්ස් නැමැති රසායනික ද්‍රව්‍යයක් කපු පුළුන්වලින් පොඟවා ඇතිල්ලීම මඟින් සිතුවම්වල තීන්ත ඉවත් කිරීමට හැකි වුණා. එදා ලුසියානෝ මරන්සි සහ රාජා ද සිල්වා ඉටුකළ සුවිසල් මෙහෙය නිසා සීගිරි බිතු සිතුවම් යථා තත්ත්වයට පත්කිරීමට හැකි වුණා.

සීගිරි බිතු සිතුවම්වල වර්තමාන තත්ත්වය

අද වන විට සීගිරියේ ඉතිරිව තිබෙන සිතුවම් 21ද ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකියි. විවිධ ස්වභාවික හේතූන් නිසා අවපැහැයට හැරෙමින් තිබෙන සීගිරි සිතුවම් සංරක්ෂණය කිරීම සඳහා පසුගිය කාල සමයේ දී විවිධ උපක්‍රමයන් භාවිතා කරනු ලැබුවා. සීගිරි බිතු සිතුවම්වල තිබෙන පුරාවිද්‍යා වටිනාකම මිල කළ නොහැකියි. අනාගත පරපුරටත් මෙම අමිල සිතුවම්වල අසිරිය බැලීමට හැකි වනු ඇතැ යි අප ප්‍රර්ථනා කරනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න