නාසා, යළිත් සඳ ගමන් අරඹයි
Thu, 17 November 2022- Page Views : 0 results
අමෙරිකාවේ නාසා ආයතනය විසින් ‘ආර්ටිමිස් වන්’ චන්ද්‍ර මෙහෙයුම අද ආරම්භ කළා. ඒ, ‘ස්පේස් ලෝන්ච් සිස්ටම්ස්’ නැමති අධිබලැති රොකට්ටුව ගුවන්ගත කරමින්. එම රොකට්ටුව ෆ්ලෝරිඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කළ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
‘ආර්ටිමිස් වන්’ චන්ද්‍ර මෙහෙයුම නොවැම්බර් මස 14 වන දින දියත් කිරීමට කටයුතු සූදානම් කර තිබුණත් නිකොල් කුණාටු තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා. මීට පෙර අවස්ථා කිහිපයකදීම අභ්‍යාවකාශ යානයේ ඇති වූ දෝෂ හේතුවෙන් ආර්ටිමිස් චන්ද්‍ර මෙහෙයුම් නාසා ආයතනය විසින් කල් දැමුණා.
අද අභ්‍යාවකාශගත කෙරුණු ස්පේස් ලෝන්ච් සිස්ටම්ස් රොකට්ටුවට සම්බන්ධ කර ඇති ‘ඔරියන්’ නැමති චන්ද්‍ර යානය පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ. ඔරියන් චන්ද්‍ර යානය පෘථිවි කක්ෂය මත මුදා හැරීමේ මෙහෙයුම, අත්හදා බැලීමේ මෙහෙයුමක් වන අතර ගගනගාමීන් එම ගමන සමග සම්බන්ධ වී නැහැ. සති 6ක පමණ කාලයකින් පසුව ඔරියන් චන්ද්‍ර යානය යළි පෘථීවිය බලා පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
‘ආර්ටිමිස්’ චන්ද්‍ර මෙහෙයුම් ඔස්සේ සඳ බලා යළිත් මිනිසුන් යැවීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සඳ බලා පළමු කාන්තාව යැවීමටත් නාසා ආයතනය සැලසුම් කර ඇති බවයි විදේස මාධ්‍ය වාර්තා කරන්නේ.
‘ආර්ටිමිස් වන්’ චන්ද්‍ර මෙහෙයුම සාර්ථක වුවහොත් ‘ආර්ටිමිස් ටූ’ මෙහෙයුම ඔස්සේ ගගනගාමීන් තිදෙනෙකු සඳ වටා ගමන් කිරීමට සැලසුම් කර ඇති අතර මිනිසුන් සඳ මත පය තැබීමේ මෙහෙයුම ‘ආර්ටිමිස් ත්‍රී’ වන චන්ද්‍ර මෙහෙයුමෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන්.