WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොලීසියේ සහ ළමා ආරක්ෂක අධිකාරියේ පුරප්පාඩු රැසක්

2026 June 21- Page Views : 6

දරුවන් සම්බන්ධ පැමිණිලි සහ නඩු සඳහා යුක්තිය ඉටුකිරීම ප්‍රමාදවීමට ළමා ආරක්ෂක වෙනුවෙන් ක්‍රියාත්මකවන ආයතනවල පුරප්පාඩු හේතුවී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, පොලීසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ තදබල ලෙස නිලධාරී පුරප්පාඩුවක් පවතින බවයි. 

ඒ අනුව අදාළ පුරප්පාඩු පිරවීම සඳහා කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වෙත ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිතකළ බහු ආංශික යාන්ත්‍රණය පියවර ගෙන තිබේ.

අදාළ කමිටුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අතර එහිදී මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ පිහිටුවා ඇති පොලිස් ඒකකය ස්වාධීන කිරීම පිළිබඳව ද මෙහිදී මෙම කමිටුවේ අවධානය යොමුව ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගැනීම සහ ඒවා ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සහ ළමා මහාධිකරණ ස්ථාපිත කිරීම මඟින් ළමුන් පිළිබඳව වන නඩු කටයුතු ඉක්මනින් අවසන් කර යුක්තිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.