සාර්ථක අත්හදා බැලීමක් - පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තුවක්
2022 December 12- Page Views : 1187
පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.
සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි නව යොවුන් ඇලීසා නම් තරුණිය වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේය.
බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය යොදාගෙන එම තරුණියගේ පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ.
ඔවුන් පවසන්නේ, බේස් එඩිටින්ග් තාක්ෂණය භාවිතයෙන් ඇගේ සිරුර තුළ ජීවමාන ඖෂධයක් නිර්මාණය කර ගත් බවය.
එම තාක්ෂණය යොදාගෙන ජාන කේත විශාලනය කර නරඹා, ජාන වෙනස් කිරීමට ලක්කිරීම එම ප්‍රතිකාරය මගින් සිදුකර තිබුණි.
එමගින් ඇගේ සිරුරේ තිබූ පිළිකාකාරක ටී සෛල මරා දැමීමට හැකි නව ටී සෛල වර්ගයක් ඇගේ සිරුරේ නිර්මාණය කළ බවත් සඳහන්ය.
පසුගිය මැයි මාසයේදී ඇය ටී සෛල ආශ්‍රිත ලියුකේමියා රෝගයෙන් පෙළෙන බවට හඳුනාගත් අතර නව ප්‍රතිකාරයෙන් මාස 6කට පසු ඇලීසාගේ පිළිකාව නිට්ටාවට සුව වී තිබේ.
රසායන චිකිත්සාව, ඇට මිඳුළු බද්ධයෙන් පවා ඇයගේ රෝගය සුව නොවූ පසුබිමක, නව ප්‍රතිකාරය සාර්ථක වීම විස්මිත ජයග්‍රහණයක් බව වෛද්‍යවරුන් පවසයි.