WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාජ්‍ය ආයතන වල ටික්ටොක් තහනම් කරයි

2023 March 01- Page Views : 52

ඇමරිකාවේ රජයට අයත් ආයතනවල භාවිත කරන පරිගණක, දුරකතන ආදියෙන් ටික් ටොක් යෙදවුම ඉවත් කරන ලෙස ධවල මන්දිරය උපදෙස් දී තිබේ.

ඉදිරි දින 30ක කාලය තුළ මේ සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන්ද දැනුම් දී ඇති බව සඳහන්ය. මෙම යෙදවුම චීන යෙදවුමක් වන අතර ඒ හරහා චීනය ඇමරිකාවේ ඔත්තු බලන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබිණි.

එය ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාවට සහ ඇමරිකානුවන්ගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් බවටද අදහස් පළ විය. ධවල මන්දිරය ඉහත කී නියෝගය ලබා දී ඇත්තේ පසුගිය වසර අවසානයේ එරට කොංග්‍රසය විසින් ගන්නා ලද තීන්දුවක් මත පදනම් වෙමිනි.

චීනය ඇමරිකාවේ ඔත්තු බැලීම හා සම්බන්ධ කාරණා ගැන මේ වනවිට වැඩි අවධානයක් යොමුවන්නට පටන්ගෙන තිබේ. ඒ මෙයට ටික දිනකට පෙර චීන බැලූනයක් ඇමරිකාවට ඉහළින් ගමන් කිරීමේ සිද්ධියත් සමගය. පසුව මෙම බැලූනයට වෙඩි තබා බිම හෙළීමට ඇමරිකානු ආරක්‍ෂක අංශ පියවර ගත්තේය. ඇමරිකාව චෝදනා කළේ එය ඔත්තු බැලීමේ බැලූනයක් බවටය. නමුත් චීනය එම චෝදනා ප්‍රතික්‍ෂේප කළේය. ඔවුන් පැවසුවේ මෙම බැලූනය කාලගුණය පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා ගුවන් ගත කරන ලද්දක් බවයි.

ටික් ටොක් තහංචිය සම්බන්ධයෙන්ද එම යෙදවුම අයත් චීන සමාගම ප්‍රකාශයක් කර තිබිණි. යෙදවුම ඔත්තු බැලීම සඳහා යොදා ගන්නවාය යන චෝදනාව ඔවුන් ප්‍රතික්‍ෂේප කර තිබේ. මෙම චෝදනා එල්ල වන්නේ වැරදි තොරතුරු මත පදනම්ව බවද ඔවුන් සඳහන් කර ඇත. කෙසේ නමුත් ඇමරිකාව තුළ ටික් ටොක් භාවිත කරන පෞද්ගලික පාරිභෝගිකයන් මිලියන 100කට වැඩි පිරිසකට මෙම තහංචිය අදාළ නොවේ.

මෙයට සමාන තහංචියක් ක්‍රියාත්මක කිරීමට මෙයට පෙර කැනඩාව සහ යුරෝපා සංගමයද පියවර ගෙන තිබිණි. ඇමරිකානු කොංග්‍රසය පසුගිය දෙසැම්බරයේ මෙම තහංචිය සම්මත කිරීමට පෙරම එරට ඇතැම් රජයේ ආයතන ටික් ටොක් යෙදවුම ඔවුන්ගේ පරිගණක, දුරකතන වැනි උපාංගවලින් ඉවත් කර තිබූ බව සඳහන් වේ. ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒ අතර විය.

මේ අතර ටික් ටොක් යෙදවුම ඇමරිකාවේ සියලුම උපාංගවලින් ඉවත් කරනවාද යන්න සම්බන්ධයෙන්ද ඉදිරියේ දී තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්ය. නමුත් එරට සිවිල් නිදහස පිළිබඳ සංවිධාන එවැනි තීරණයකට විරුද්ධ බව මාධ්‍ය වාර්තා කර ඇත. චීනයේ ByteDance සමාගමට අයත් ටික් ටොක් යෙදවුම වීඩියෝ බෙදාහදා ගන්නා යෙදවුමකි.