රෝහල් පද්ධතියේ පවතින පුරප්පාඩු නිසා හෙද හෙදියන් මානසික පීඩනයට ලක්වන බවට ප්‍රකාශයක්
2026 June 22- Page Views : 3
දිවයින පුරා රෝහල්වල 23,000 පමණ හෙද හිඟයක් පැවතීම හේතුවෙන් හෙද කාර්යමණ්ඩලය දැඩි පීඩනයන්ට ලක්වන බව ඒකාබද්ධ හෙද සේවා සංගමය පවසයි.
එහි සභාපති පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමි පෙන්වා දෙන්නේ හෙද හිඟය අවම කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ද සාධනීය පියවරක් ගැනීමට අසමත් වී ඇති බවය.
හෙද සේවය මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් මේ බව සදහන් කළේය.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් පෙන්වා දුන්නේ වත්මන් රෝහල් පද්ධතිය තුළ හෙද හෙදියන් 23,000ක පමණ සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 14,000ක පමණ බරපතළ පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවය.
මෙවැනි තත්ත්වයක් හමුවේ එක් හෙදියකට, හෙදියන් දෙදෙනෙකුගේ වැඩ කොටසක් ආවරණය කිරීමට සිදුව ඇති බව ද උන්වහන්සේ පැවසීය.
ඇතැම් අවස්ථාවලදී හෙද හෙදියන්ට දින කිහිපයක් අඛණ්ඩව සේවයෙහි යෙදීමට සිදුවීම නිසා දරාගත නොහැකි වැඩ පීඩනයක් නිර්මාණය වී ඇති අතර, මෑතකදී කින්නියා රෝහලේ ඇති වූ සිදුවීම ඇතුළු ගැටලු රැසකට මූලික හේතුව මෙම තත්ත්වය වන බව ද උන්වහන්සේ පෙන්වා දුන්නේය.
හෙද හිඟය පියවීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙලක් වහා සකස් නොකළහොත් රෝහල් පද්ධතිය තවදුරටත් කඩා වැටීමට ලක්වනු ඇති බවට ද පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් අනතුරු අඟවා තිබේ.
එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන්,
"අපි පහුගිය කාලය පුරාවටම සාකච්ඡා කරමින් හිටපු කාරණයක් තමයි රෝහල්වල පවතින හෙද හිඟය. යම් පියවර කෙටිකාලීන, දිගුකාලීන, මධ්‍යකාලීන වැඩසැලස්මක් හදලා හෙද හිඟය පියවන්න කටයුතු කරන්න නැත්නම් මේ රෝහල් පද්ධතිය තවදුරටත් ගරා වැටීමට, කඩා වැටීමට නියමිතයි කියන එක. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රවේශයක් ආණ්ඩුව ගන්න වගක් අපිට පෙනෙන්නට නැහැ. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දැනට 14,000ක හිඟයක් තියෙනවා. ඒ වගේම හෙද හෙදියන් 23,000ක විතර හිඟයක් දැනට පවතිනවා. ඒ තියෙද්දි තමයි මේ රෝහල් පද්ධතිය මෙහෙම යන්නේ. එක හෙදියක් හෙදියන් දෙන්නෙක්ගේ වැඩ ආවරණය කිරීමක් කරලා තමයි ඔවුන් මේ රෝහල් පද්ධතිය මේ විදිහට දුවන්න ඔවුන්ගේ මැදිහත්වීම කරන්නේ. එතකොට මේක ඇතුලේ ලොකු දරාගන්න බැරි තරම් වැඩ පීඩනයක තමයි හෙද හෙදියන් ඉන්නේ. ඒ ප්‍රශ්නය තමයි එක පැත්තකින් කින්නියා රෝහලේදීත් වුණේ. මෙවැනි සිදුවීම් ගණනාවක් වෙන්න නියමිත සහ වෙලා තියෙනවා. ඒවා ඔක්කොම සම්බන්ධ වෙන්නේ මේ හෙද හිඟය කියන කාරණයත් එක්ක. මොකද සමහර හෙදියන් දිනයක්, දෙකක්, තුනක් සමහරවිට අඛණ්ඩව වැඩ කරන්න වෙන අවස්ථා තියෙනවා."
එමෙන්ම එම මාධ්‍ය හමුවට එක් වූ එම සංගමයේ ලේකම් නිසංසලා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ හෙද සේවයේ පවතින ගැටලු හේතුවෙන් හෙද හෙදියන් විදෙස්ගත වීම ද ඉහළ ගොස් ඇති බවය.
කාර්ය මණ්ඩල ප්‍රමාණය අඩු වුවද රෝගී සත්කාර සේවා නතර කළ නොහැකි බැවින් හෙද ප්‍රජාව දැඩි මානසික හා ශාරීරික පීඩනයකට ලක්ව සිටින බවද මෙහිදී ඒ මහත්මිය පෙන්වා දුන්නාය.
මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ පීඩනය දරා සිටීම නිසා ඇතැම් හෙද හෙදියන් ජීවිතයෙන් පවා සමුගන්නා තත්ත්වයට පත්ව ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ හෙද සේවා සංගමයේ ලේකම් නිසංසලා ප්‍රනාන්දු මහත්මිය,
"තමන් සමග සේවය කරන තව කෙනෙක් දිහා බලන්නටවත් හෙද හෙදියන්ට වෙලාවක් නෑ. කොටින්ම කියනවා නම් තමන් ගැන බලාගන්නත් වෙලාවක් නෑ. මානසික පීඩනය, ශාරීරික පීඩනය හැමදෙයක්ම විඳ දරාගෙන කාලයක් සිටීමෙන් තමයි මේ විදිහට හෙද හෙදියෝ තමන්ගේ ජීවිතය හැරයන තත්ත්වයට පවා පත්වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ, හෙද හිඟය දරාගන්න බැරි මට්ටමකට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රමාණය අඩුයි කියලා අපිට රෝගීන්ගේ සේවාව ලබාදෙන එක නවත්තන්න බෑ. තව හෙදියෙක්ගේ වැඩ කොටසක් අපිට කරන්න සිද්ධ වෙනවා. මේකට කෙටිකාලීන, දිගුකාලීන ඉක්මන් වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද අපි දන්නවා මේ වෙනකොට දැන් මේ හෙද සේවාවේ තියෙන දරාගත නොහැකි මානසික පීඩනය, ආර්ථික පීඩනය මේ සෑම දෙයක්ම නිසා සීඝ්‍රයෙන් විදෙස්ගතවීම් වැඩිවෙලා තියෙනවා."