WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සඳමාලිගේ දේහය දිවයිනට රැගෙන එයි

2024 April 03- Page Views : 358

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පසුගිය දා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන්, සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතියක් තුළින් විදුලිය කාන්දු වී, විදුලි සැර වැදී මිය ගිය ශ්‍රී ලාංකික සේවිකාවක වන ජයමිණි සඳමාලි විජේසිංහගේ සිරුර අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා සිටි සඳමාලි 26 හැවිරිදි අවිවාහක තරුණියකි.

ඇය සිය සහෝදරයෙකුගේ මාර්ගයෙන් සාජා හි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මාස 11ක කාලයක් සේවය කරමින් සිටියාය.

ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳ සැළ වෙත යමින් සිටිය දී ඇය මෙලෙස විදුලි සැර වැදීමකට ලක්ව තිබුණි.

එම අවස්ථාවේ දී ඊජිප්තු ජාතිකයින් දෙදෙනෙකුට, බංග්ලාදේශ ජාතිකයෙකුට සහ පිලිපීන ජාතිකයෙකුට විදුලි සැර වැදී තිබුණි.

පසුව වහා ක්‍රියාත්මක වී ඇති එරට ආරක්ෂක අංශ එම ස්ථානයට ගොස් අදාළ ප්‍රදශෙයේ ගමනාගමන කටයුතු අත්හිටුවා ආරක්ෂිත පියවර ගෙන ඇත.

අද උදෑසන සඳමාලිගේ දේහය භාරගැනීම සඳහා ඇගේ වැඩිමහල් සහෝදරයා ඇතුළු පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

සඳමාලි සේවය කළ ආයතනය විසින් ඩිරාම් 4,000ක මුදලක් මෙරටට එවා ඇතැයි ද සහෝදරයා පැවසීය.

කෙසේවෙතත් එරටින් සිදුකළ සඳමාලිගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඥාතීන් පිළිනොගන්නා අතර, අලුත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් ඉල්ලීමක් සිදුකර තිබිණි. ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ මෙහෙයවීමෙන් දේහය මීගමුව මහ රෝහල වෙත රැගෙන යෑමට නියමිතය.

සඳමාලිගේ අවසන් කටයුතු හෙට (04) මතුගම පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇත.